11/17/2011

හෙළ කවියට පණදුන් ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි


 
 

හෙළ කවියට පණදුන්
ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි

සුප‍්‍රකට සිංහල කවියකු වූ ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන් ගේ ගුණ සමරුව මාර්තු 16 වැනි දිනට යෙදී තිබිණි. මහින්ද හාමුදුරුවන් උපත ලබා ඇත්තේ 1901 වසරේදී ය. උන්වහන්සේ අප අතරින් වියෝ වන විට සම පණස් වියට පා තබමින් සිටියහ. ඒ 1951 වන වසරයි.
ටිබැට් හාමුදුරුවන් ගැන කිව යුතු දෑ බොහෝ ය. ආශාවෙන් සවන් දිය හැකි අපූරු කතා විලාසයක් උන්වහන්සේ සතුව පැවැතිණි. දැක්මට පිය උපදවන රූ සපුවකින් ද උන්වහන්සේ බැබලුණහ. ආරෝහ පරිණාහ සම්පතින් අනූන වූ උන්වහන්සේ දිවයිනේ අතිශයින් ජනප‍්‍රිය ධර්ම දේශකයාණ කෙනකු වශයෙන් ද සිත් දිනාගෙන සිටියහ.
ජීවිතයේ අවසාන භාගය පානදුර අළුබෝමුල්ලේ මහබෙල්ලන වීරගහ විහාරස්ථානයේ ගත කළ අන්දම අදමෙන් මතකය. මේ වනවිට දිවයිනේ ඉතාමත් ජනප‍්‍රිය ‘සිංහල’ කවියා ලෙස නමක් දිනාගෙන සිටි මහින්ද හාමුදුරුවන්ට ජාතික පුවත්පත්වලින් සහ සඟාවලින් සෑහෙන ප‍්‍රසිද්ධියක් ලබාදී තිබුණි. මහින්ද හිමියන්ගේ කවි ප‍්‍රබන්ධ හැකියාව විවිධ ක්‍ෂේත‍්‍රවල විහිදී ගිය එකකි.
ස්වාභාවික සෞන්දර්යයට ඇලුම් කළ මහින්ද හිමියෝ ජාත්‍යානුරාගය දනවන කවි ලිවීමට බෙහෙවින් ප‍්‍රිය කළහ. භක්තිකාව්‍ය ක්‍ෂේත‍්‍රයට දැක්වූ ඇල්ම ද එබඳුය. පරාධීන යුගයක ජීවත් වූ සිංහල මිනිසුන් අතර ජාතික හැඟීම් ජනිත කරලීමේ වෑයමක නිරත වී සිටි බවට සාධක වශයෙන් උන්වහන්සේ ගේ සම්පාදක කර්තෘත්වය යටතේ මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ ලංකාමාතා, නිදහසේ මන්ත‍්‍රය, නිදහසේ දැහැන යන කාව්‍යයන් ඉදිරිපත් කළ හැකිය. ඇත්තටම සිංහල මනුෂ්‍ය වර්ගයා අභ්‍යන්තර වශයෙන් ද බාහිර වශයෙන් ද පිරිහී සිටි යුගයකි. ඒ. ගුණ නුවණින් පිරිහෙන විට දිගු කලක් පවත්වාගෙන ආ සද්චාරිත‍්‍රධර්ම ගිලිහීයාම ස්වාභාවිකය. ‘සිංහල බෞද්ධ’ සංස්කෘතිය යුරෝපීය බටහිර සංස්කෘතිය විසින් ආක‍්‍රමණය කරනු ලැබීම නිසා බෞද්ධයන් වන අප අධ්‍යාත්මය විසින් ද විනාශ වූ බව ඇත්තය. එවැනි වකවානුවකදී මහින්ද හිමියන්ගේ පිබිදීම සිංහල බෞද්ධයන්ට අතිශයින් වැදගත් එකක් විය.
මහින්ද හිමියන් ජාතික කවියකු ලෙස පිළිගැණුනේ මේ පසුබිම යටතේය.
මහින්ද හිමියන් විසින් රචිත ‘ලංකා මාතා’ නම් වූ කාව්‍ය ග‍්‍රන්ථය කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති තරගයකට ඉදිරිපත් කළ නිර්මාණයකි. නව කවිබස් වහරක් යොදා ගනිමින් මේ අගනා කාව්‍යය ලියා හමාර කිරීමට මහින්ද හිමියන් ගත කළේ එකම එක රාති‍්‍රයක් පමණි.
එළිවී පහන් වන විට පොත ලියා අවසන් කර තිබිණි. මහින්ද හිමියන් සිය අතවැසි චන්ද්‍රදාස නැමැති අය ලවා මේ පොතේ කවි කියවා ඒවායේ වෘත්තය බිඳීම් ආදී ඇද පලුදු විමසා බලනු මට මතකය.
’ලංකා මාතා’ කවිපොත මුල සිට අවසානය දක්වා ම එකම රසගුලාවකි. මෙතෙක් අප සතුව තිබෙන වීරකාව්‍යය ද උපදේශ පුෂ්පය ද ‘ලංකා මාතා’ යයි මට සිතේ.
මේ කවිපොත ලිවීමේ කතුවරයාගේ අභිලාෂය වූයේ කුමක්දැයි පහත පෙනෙන කවියෙන් සිතාගත හැකිය.
 
තුම් නිදහස් රුකෙහී සෙවනැල්ලෙහි සිංහලයෝ සැතපෙත්වා!
ගම් බිර දම් සහ පෙම් සමගී රස කා අතරත් පැතිරේවා!
හිම් කොට සිව් සයුරත් සුනෙරත් රුදු දෑ කුල බේ දුරුවේවා!
පෙම් බර ලක්මව සව් සැපතින් වැජඹේ! වැ ජඹේ! වැජඹේවා!
අපේ මිනිසුන් හා අපේ දේශය ගැන උපන් අනුරාගය කෙබඳුද යනු සිතා ගැනීමට ‘ලංකා මාතා’ කාව්‍යයෙන් උපුටාගත් පහත පළ කරන මේ කවි කීපය වුව ද ප‍්‍රමාණවත් ය.
 
බෑ ඉවසන්නට බෑ ඉවසන්නට
අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙහි ලූ ලුණුමෙන්
පුපුරන්නෙය කෝප විකාරෙන්
ඈ සනසන්නට සිංහල ලේ ඇති
සිංහල කොල්ලකු අය්යෝ
දැන් උපදින්නෙම නැද්ද උපුල්වන්
දෙව්රජුනේ ලක රක්නා

ජාතික ආලෙහි ජීවනගා කිරි
දී වෙඬරූ රස දුන්නූ
මේ ලක ගොයි මහගේ සතු සම්පත
කොයිබද ඒ කිරි දෙන්නූ
කාමුක නීච සිරිත් පුරුදු කර
උන් මරලා ගිල දැම්මෝ
මේ එක දේම නොවේද අහෝ අද
ජාතික හානියෙ හේතු
ස්වභාවික සෞන්දර්යය වර්ණනාව සඳහා උන්වහන්සේ දැක්වූ කුසලතා සෙසු කවීන් අභිබවා ගිය බවත් පෙනෙන්නේ ඇතැම් රචනා කියවා බලන විටය.
නමුණුකුල සමන් පව් ආදි උස් පව් රදුන් හා
සුනිලබර වෙනෙන් හා ඒ මැදින් ආ ගඟන් හා
කලට හෙන පොදින් හා සෑම කල් දෙස් ගුණෙන් හා
ඉතිර ගිය බිමක් ඇත්නම් උතුම් ලක්බිමයි මේ

මුතු ඇටයකි ඉන්දී සාගරේ හී උදාවූ
ගිලිහුණු ගුවනින් නිල් නිල්මිණක් යයි කිවින්ගෙන්
තියු ලබන අපේ මේ ලක්බිමේ වාසනාවන්
මෙපමණය කියාලා බෑ කියන්ටත් සිතන්ටත්

හිස පිදූ සඟබෝදි ආදි බෝසත් වරුන් ට ත්
ගැමුණු ද පැරකුම්බා - ඈ සටන් හී රජුන් ට ත්
ගුරුළු කුමරදසි හා රාහුලාදි කිවින් ට ත්
ජනිත සුර බිමක්වූ යේ උතුම් ලක්බිමයි මේ
සිළුමිණ පුවත්පත ආරම්භ කළ විට එහි මුල් පිටපත සඳහා සැපයුණු කවි පෙළක ඇතැම් කොටස් මට මතක හැටියට මෙසේ ය.
හොඳ නොහොඳ දැනෙන්ටත්
සෙත් සිරිත් දම් වැවෙන්ටත්
බියගුළුව නොඉන්ටත්
වීරයන් මෙන් නැගෙන්ටත්

විපතෙදි නො තැවෙන්ටත්
සම්පතින් මත් නොවෙන්ටත්
විජයසිරි සිඹින්ටත්
ජීවිතේ මං තැනෙන්ටත්

නිදහස හිමි වෙන්ටත්
ජාති ආලේ වැඩෙන්ටත්
සමඟිය ලියලන්ටත්
ඒ මඟින් ලෝ වැඩෙන්ටත්

කැමති අය සිටිත් නම්
සිංහලද්දීපයේ මේ
සිළුමිණ කියවත් වා
ආයුබෝවන් කියත් වා!
සිංහලයන් තුළ පිහිටිය යුතු ගුණදහම් ගැන - සමඟිය ගැන – චරියා දහම් ගැන මහින්ද හාමුදුරුවන් නිරන්තරයෙන් අදහස් පළ කළහ. ධනවාදී රාමුව අහිංසකයන් දුක් විඳි යුගයෙක ජීවත් වූ ටිබැට් ජාතික එස්.මහින්ද හිමියන් ඇතැම්විට කෝපයෙන් දිලිසී කතා කළ අවස්ථා ද විය. මේ එවන් අවස්ථාවක ලියූවකි.
කෙස් ගහ පවා පිට රටවල මිනිසුන් නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන් නේ
හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන් නේ
ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිල ද සිහලුන් නේ
මෑත යුගයේ මෙරට පහළ වූ දෑ හිතකාමීන් අතර එස්.මහින්ද හිමියන් අනාගත පරම්පරාව ඉදිරි කාලපරිච්ඡේදවලදී ආදරයෙන් සමරනු නිසැකය.

2 ඔබගේ අදහස් අපට බොහෝ වටිනවා.කමේන්ට් එකක් දාන්න:

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

ඉතාමත් වටිනා ලිපියක්... ස්තුතියි !!!

Unknown said...

ඉතා වැදගත් ලිපියකි. ළමා පරපුර අතරට යා යුතුය. "බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා" මේ කවි පෙළේ විරිත මා වෙත දැන්වීමට කාරුණික වන්න., TP No: 0727833727

Post a Comment