10/31/2011

ජනශ්‍රැතිය

1 ජනශ්‍රැතිය හඳුන්වා එහි මූලිකාංග පිළිබඳ විමසීමක් කරන්න.
  • ජනශ්‍රැතිය හඳුන්වා එහි මූලිකාංග පිළිබඳ විමසීමක් කරන්න
මිනිසා විසින් කටහරෙන් හෝ ප්‍රායෝගික හැසිරීම් රටාවෙන් පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරන ලද මනුෂ්‍ය ඥානය ජනශ්‍රැතියයි. මෙහිදී ජනයා යනු කවුරුන්ද ශ්‍රැතිය යනු කුමක්දැයි විග්‍රහයට ලක්වූයේ මානව ශ්‍රාස්ත්‍රීය විෂයයක් වශයෙන් අධ්‍යයනය කිරීමේ ආරම්භයත් සමඟය. ජනශ්‍රැති යන වචනය සකසාගන්නේ ඉංග්‍රීසි ෆොක්-ලෝර් (Folk-Lore ) යන වචන දෙකෙනි. යුරෝපීයයන් විසින් තම විනෝදාංශයක් වශයෙන් ජනශ්‍රැතියට අයත් කරුණු එකතුකරන ලදී. මෙම කරුණු ඒ කාලයෙහි හඳුන්වනු ලැබේ පුරාවස්තු හෝ ජනප්‍රිය සාහිත්‍යය වශයෙනි. විලියම් තෝමස් 1846 දී එම රටේ ඇතේනියන් සඟරාවට ලිපියක් ලියමින් මෙම වචන සියල්ල වෙනුවට (Folk-Lore ) යන වචනය යෙදීම මැනැවයි යෝජනා කළේය. ඒ වචනයට මිනිසුන්ගේ ගති පැවතුම්, සිරිත් විරිත්, චර්යාධර්ම, මිත්‍යා විශ්වාස, කවිකතා, ප්‍රස්තාව පිරුළු ආදිය ඇතුළත් වනු ඇතැයි ඔහු පැවසීය.
ඈත අතීතයේ සිට පෙරදිග දර්ශනය හා ඥානය ශ්‍රැති වහරෙන් පැවත ආ බව වෛදික සාහිත්‍යයෙන් හා ත්‍රිපිටකයෙන් හෙළිවෙයි. “ඒවං මේ සුතං” යනුවෙන් ආරම්භ වී ආනන්ද හිමියන් දේශනා කරන සූත්‍ර ශ්‍රැති ප්‍රවාහයට ඇතුළත් වෙයි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කළේ ඊට බොහෝ කාලයකට පසුවයි. ඒ අනුව “බැදගත්තු බෙරේ ගහන්නම වෙනවා”වගේම “කොළඹට කිරි අපට කැකිරි” ආදී ජනශ්‍රැති භාවිත කරති.
මේ අයුරින් පැවත ආ ජන්‍රශැති මාධ්‍යගත මනුෂ්‍ය ඥානයෙහි ශාස්ත්‍රීය ක්‍රියාදාමය වූ ජනශ්‍රැති ශික්ෂණය ගැන නිර්වචන ගණනාවක් ඉදිරිපත් වී තිබේ. ඉන් ශ්‍රී ලාංකිකයෙකු වූ ආනන්ද කුමාරස්වාමි ශුරීන්ගේ නිර්වචනය විශේෂ අවධානයට ලක්විය යුත්තකි.
“ජනශ්‍රැතිය යනුවෙන් අප අදහස් කරන්නේ ඓතිහාසික පර්යේෂණයට ලක් වූ වකවානුවට පෙර සිටම පොත පතින් නොව ඉඩ පරම්පරාවෙන් සහ මනුෂ්‍ය චර්යාවෙන් එනම් පුරාණෝක්ති සූරංගනාකතා, කවිකතා, කෙළි සෙල්ලම්, සෙල්ලම්බඩු, කලා ශිල්ප, වෙදකම, ගොවිතැන, ආචාරවිධි සහ, සමාජ සංවිධානයන් විශේෂයෙන් ම ගෝත්‍රික සමාජ සංස්ථාවන් මගින් පැවත එන පරිපූර්ණ, අඛණ්ඩ සංස්කෘතිකාංග සම්භාරයයි.”
(ආනන්ද කුමාරස්වාමි)
මිනිසුන් අතර පරම්පරාවට පැවත එන ලේඛනාරූඨ නොවූ ජනකවි, ජනකතා, තේරවිලි, නැළවිලි ගී ආදී සාම්ප්‍රදායික සාහිත්‍යය ජනශ්‍රැතියයි.
(විලියම් බාස්කොට්)
ජනශ්‍රැතිය ශික්ෂණයක් වශයෙන් සලකන විට ජන යනුවෙන් අදහස් කරන්නේ කවුරුන්දැයි අප වටහාගත යුතුය. ජනයා යනු සමස්ත මිනිස් සමාජයයි. ඒ අතර සමාන ගති පැවතුම්, රැකියා කතාබහ සිරිත් විරිත්, චර්යාධර්ම, අපේක්ෂාවන් ඇති කුඩා කණ්ඩායම් අප අතර සිටී. කම්කරුවන්. ගොවින්, පතල්කරුවන් ඉන් සමහරෙකි. ජනශ්‍රැති විද්‍යාඥයන් අවධානය යොමු කළේ ඔවුන් පිළිබඳවයි. ලෝකයේ හැමදාමත් හැමතැනමත් සිටින්නා වූ කුඩා කණ්ඩායම් ජනශ්‍රැතියෙහි “ජන” යන වචනයෙන් ගම්‍ය වන බව “බෙන් අමෝස්” පැහැදිලි කර ඇත.
“ජන ශ්‍රැතිය පිළිබඳ වර්තමාන අදහස්වලට අනුව පන්ති කාමරයක ශිෂ්‍ය පිරිසක් අතර ජනශ්‍රැති හටගත හැකිය. මේ අනුව “ජන” යන පදයට සුදුසුකම කියන්නන් ඇති විය හැක්කේ මූලික බැඳිමකින් යුතු පිරිසක් තුළය.” මෙම කරුණු සියල්ලම ඇතුළත් වන සේ ජනශ්‍රැති සඳහා පහත සඳහන් නිර්වචනය ඉදිරිපත් කළ හැකිය.
“කුඩා කණ්ඩායම් අතර සම්ප්‍රේෂණය වන්නාවූත්, කලාත්මක සන්නිවේදනයක් උත්පාදනය කරන්නාවූත් ශ්‍රැති, වහර, ජනජීවනය, ජනශ්‍රැතියයි. “Folklore is the meterial transmitted through oratl tradition and follife, yielding artistic communication
මෙහි ජන ජීවිතය යනුවෙන් අදහස් කරන්නේ ජනයාගේ කෑම බීම ඇඳුම් පැළදුම්, ඉඳුම් හිටුම්, ගෙවල්, සිරිත් විරිත්, අභිවාරවිධි, ශාන්තිකර්ම ආදී වශයෙන් ජීවිතයට අදාළ වන අවශ්‍ය වන පැවැත්ම සහ ක්‍රියාකාරීත්වයයි. එබැවින් ජනශ්‍රැතිය යනු ශ්‍රැතිය සහජීවනය සාක්ෂාත් කෙරෙන අධ්‍යයනයයි.
ජනශ්‍රැති වර්ගීකරණය
ජනශ්‍රැතිය විවිධ අවස්ථා යටතේ වර්ගීකරණය කළ හැකිය. එනම්,
  1. පුරාණෝක්ති
  2. වෘත්තාන්ත
  3. ජනකතා
  4. ජනකවි
  5. රස්තාව පිරුළු ආදී වශයෙනි.


  • පුරාණෝක්ති
ඉංග්‍රිසියෙන් මිත් යන වචනයට සිංහල පාරිභාෂික වචන දෙකක් ඇත. එනම් “පුරාණෝක්තිය” සහ “මිථ්‍යාව” යනුයි. මෙහිදී අපගේ අවධානයට යොමුවන්නේ පුරාණෝක්තියටයි. “පුරාණයෙහි කියූ දේ” එහි අර්ථයයි. මයිතෝස් (Mythos) යනු මෙහි ග්‍රීක වචනයයි. එහි අර්ථයද කියූ දේ යන්නයි. එය සංස්කෘත පදයට සමාන වෙයි. ජනශ්‍රැති මානව විද්‍යා විෂය ක්‍ෂේත්‍රයක් වශයෙන් ගත්කල එයින් විස්තර වන්නේ දේව උප්පත්තිය, මනුෂ්‍ය උප්පත්තිය සහ විශ්ව සම්භවවේදය ආදී වශයෙන් විශ්වය සහ දෙවියන් ගැන ඇති කුතුහලය සංසිඳවීමට ගත් ප්‍රයත්නයයි. එයින් ස්වභාවික වස්තූන් ගැන දෙවිදේවතාවුන් ගැන, වීරයින් ගැන ප්‍රාග් විද්‍යාත්මක විග්‍රහයක් දැක්වේ.
උදාහරණයක් ලෙස බෞද්ධ සම්ප්‍රදාය අනුව අතිවන කල්ප විනාශය පුරාණෝක්තියකි. කල්ප විනාශය සමඟ මුළු විශ්වයම විනාශ වෙයි. එහි කතාව මෙසේය.
“කල්ප විනාශයට පෙරාතුව බුදුරජාණන් වහන්සේගේ සියලූම ධාතුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ඒකරාශීව බුදුරුව මැවී උන්වහන්සේ ලෝවැසියන් අමතා දේශනයක් පවත්වනු ඇත. එය ශ්‍රවණය කිරීමේ වාසනාව ලැබෙන්නේ පින් දහම් පිරූ අයට පමණි.”
පුරාණෝක්ති ගැන විග්‍රහයක් දක්වන මානව විද්‍යාඥ රොබර්ට් රෙඩිෆිල්ඩ් (Rovert Redifield) මෙසේ විග්‍රහ කරයි.
“අභිලාෂය පුරාණෝක්ති කතාවට සමාන වෙයි. එය තමන් බලාපොරොත්තු වන දේ පිළිබඳ දෘෂ්ටියයි.”
උදා:- විජය පුරාණෝක්තිය
විජය කුමරහට දා ඒ යක්ෂනියගේ පුතෙක්ද දුවෙක් ද වූහ. විජය කුමර තෙමේ රාජ කන්‍යාව ආ බැව්ද අසා යකිනියට සොඳුරු දරුවන් දෙදෙනා තබා තී දැන් යා. මනුෂ්‍යයෝ සැමකල්ම අමනුෂ්‍යයන්ට බානාහ යයි කීය. ඒ අසා යක්ෂ භයින් භය වූ ඒ යකින්නට “තිට දහසකින් බලි දානය කරවමි. සෝක නොකර යි කීයේය. භය වූ ඕ තොමෝ ද නැවත නැවත ඔහු යාඥා කොට දරු දෙදෙනා යා යුතු අතක් නැති බැවින් ලංකා පුරයට ගියාය. පුතුන් බැහැර හිඳුවා තොමෝ නුවර වන්නාය. ඒ යකින්න හැඳින සෙර යයි සංඥා ඇති භය වූ ලංකා පුරයෙහි යක්ෂයෝ කැළඹුණෝය. එක් රෞද්‍ර යක්ෂයෙක් වූ කලි එක් අතුල් පහරකින්ම යක්ෂණිය මැරුයේය.”
ඇගේ මයිල් යක්ෂ තෙමේ නුවරින් බැහැර නික්මුණෝ ඒ දරුදෙදෙනා දැක තෙපි කවුරුන්ගේ දරුවෝ දැයි පිළිවිසියේය. කුවේණියගේ යයි අසා මෙහිදී තොපගේ මවු මරවන ලද්දීය. තොප දැක මරන්නාහ. වහා පළා යෙත්ව යි කීයේය. ඔවුහු එයින් වහා පළාගොස් සමන්කුළට ගියෝය.
ඒ දෙටු තෙමේ තරුණ වූයේ ඒ නැගණියන් සමඟ වාසය කළේය. ඔවුහු දූ පුතුන්ගෙන් වැඩි ඒ කඳුරටම විසූහ. මේ තෙමේ වැද්දන්ගේ උප්පත්තියයි.
(මහාවංශය)
  • වෘත්තාන්ත
ඉංග්‍රීසියෙහි ලෙජන්ඩ් (Legend) යන පදය සිංහලයට පෙරළා ගත් විට “වෘත්තාන්ත” යන අරුත ගෙනදෙයි. මින් අදහස් කෙරෙනුයේ කිතුනුවන් පල්ලියේදී හෝ භෝජන සංග්‍රහවලදී කියන සාන්තුවරයන් හෝ මෘතවීරයන්ගේ කතාය. ජනශ්‍රැති අධ්‍යයනයෙහිදී එය බොහෝ විට ඓතිහාසික සිද්ධීන්, පුද්ගලයන් හෝ වීරයන් හෝ ස්ථාන සම්බන්ධ කරගනිමින් ගෙතුණ මනඃකල්පිත කතාවකිනි. පුරාණෝක්තියත් වෘත්තාන්තයත් අතර වෙනස තරමක් අපැහැදිලිය. උදාහරණයක් ලෙස දුටුගැමුණු කථාව සමහරු වෘත්තාන්තයක් ලෙසද සමහරු පුරාණෝක්තියක් ලෙසද සලකති. පුරාණෝක්තියෙහි පසුබිම දෙවිදේවතාවුන් සහ ආගම්වල උප්පතීන් වන අතර වෘත්තාන්තයට ඊට මෑත යුගයේ, සත්‍යය සහ මනඃකල්පිතය යන දෙලක‍ෂණවලින් සැදුණු කතාවකි.
උදා :- ශ්‍රී පාදස්ථානය පිළිබඳ වෘතාන්තය නිශ්ශංකමල්ල රජුට විශාල මල් උයනක් තිබුණා. එය ප්‍රවේශම් කිරීම සඳහා යොදවා තිබුණේ පා දෙක කොර වූ පුද්ගලයෙක්. එනම් කොටෙක්. මෙම මල් උයනේ මල් නෙළා ගෙන සිරිපාදය නැරඹීමට දිනපතා රාත්‍රී කාලයේ සුරඟනන් එනවා. දිනපතාම මල් උයනේ මල් නැතිවීම ගැන රජතුමාට ද දැනගන්න ලැබුණා. මේ පිළිබඳව කොටාගෙන් විමසනා ලදුව මල් හොරා අතට අසුකර ගැනීමට කොටා නිදිවරාගෙන සැඟවී සිටියා. එක් දිනක් සුරංගනාවියක් මල් නෙළීමට පැමිණ කොටාගේ අතටම අහුවුණා. පසුව සුරංඟනාවිය මල් නෙළන්නේ බුදුන්ගේ සිරිපතුල නැමදීමට බව සුරංඟනාවිය කොටාට පැහැදිලි කළා. ඒ වගේම සිරිපතුල බැලීමට කොටාට කැටුව සමනල ගල මුදුනට ගොස් සිරිපතුල බැලීමට කොටාට අවස්ථාව සලසා දී තියෙනවා. කොටා සුරංඟනාවිය සමඟ සිරිපාද කන්ද නගින විට යන පාරේ මගදිගට මල් හළාගෙන ගොස් තියෙනවා. පසුව සිරිපාදය වැද පුදාගෙන කොටා ආපසු මල් උයන වෙත හැරලවා සුරංගනාවිය අතුරුදන් වුණා. පසුවදා නිශ්ශංකමල්ල රජු උයනට පැමිණි වේලාවේ පෙරදිග රාත්‍රියේ සිදු වූ දේ සියල්ලම කොටාගෙන් දැනගෙන පාරේ දමන ලද මල්වලින් පාර සොයාගෙන රජතුමා සිරිපාදය සොයා ගත්තා. සිරිපතුල මැණික් ගල් උඩයි පිහටවල තිබුණේ. ඒ වටිනා මැණික සොරුන් ගනිවි යැයි රජතුමා සැක කරල මැණික වැහෙන්ඩ කළුගලක් තියල ඒ උඩ සිරිපතුල් ලාංඡනය පිහිටෙව්වා.


  • ජනකතා
ජනකතාව යනු කටවහරින්, ලිඛිතව හෝ රඟ දැක්මෙන් හෝ වෙනත් අයුරකින් සාම්ප්‍රදායිකව පැවත එන කතාවකි. උදාහරණ ලෙස පංචත්නත්‍රය හිතෝපදේශය, ජාතක කතා, අරාබි නිසොල්ලාසය හෝ සින්ඩරෙල්ලා ආදිය සඳහන් කළ හැකිය.

ජනකතා ලක්ෂණ
  • ඕනෑම ජනකතාවක් ආදී මධ්‍ය පරියෝසාන වශයෙන් කොටස් තුනක් දක්නට ලැබීම.
“එකමත් එක කාලෙක” යනුවෙන් කතාවක් ආරම්භ කළ විට එය ජනකතාවක් බව අපි දනිමු. මේ කතා කටවහරින් පැවත එනවිට යම් යම් වෙනස්කම්වලට භාජනය වීම නොවැළැක්විය හැකිය. එහෙත් සෑම අවස්ථාවකම පාහේ කතා හරය එක හා සමාන වන අතර එය ඉදිරිපත් කෙරෙන ආකාරය, සිදුවීම්වල වර්ධනය, නිර්මාණාත්මක යෙදීම් සහ වාග්මාලාව වෙනස්වෙයි.
  • ජනකතාව මනාව ව්‍යාප්ත කළහැකි කතාකාරයන් සිටීම
එවැන්නක් ජනශ්‍රැති විද්‍යාඥයන් හඳුන්වන්නේ “සාර්ථක සම්ප්‍රදායධාරීන්” යනුවෙනි. කතා කීමටද දක්ෂතාවයක් තිබිය යුතුය. එම කතා ආරක්ෂා වී තිබුණේ ඔවුන්ගේ මාර්ගයෙනි. කිසියම් සිද්ධියකට අවධානය යොමු කිරීම සඳහා අවශ්‍ය අවස්ථා අවධාරණය කිරීමටත්, හාස්‍යය, කුතුහලය වැනි නවරසය කුළුගැන්වීමටත් යොදන භාෂාවෙන් එම ජාතියේ බස්වහර දියුණු කිරීමට ඔවුහු සමත් වෙති.
  • ශ්‍රාවක ජනයා අනුව ප්‍රස්තුතය වෙනස් කිරීම
ළමුන්ට කතාන්දර කිම නිදසුනක් ලෙස පෙන්වාදිය හැකිය. එම කතාවලට ඇතුළත් සිද්ධීන් සහ භාෂාවද ඔවුන්ගේ මානසික තත්වය සහ වයසට අනුකූල වූවකි. මෙසේ ස්ථානයට, කාලයට හා ශ්‍රාවක පරිසරයට අනුකූලව වූවකි. මෙසේ ස්ථානයට, කාලයට හා ශ්‍රාවක පරිසරයට අනුකූලව කියන කතා ජනශ්‍රැති විද්‍යාවෙහි හඳුන්වා දී ඇත්තේ ප්‍රකරණ කතා (context) යනුවෙනි. මේ අනුව මෙම කතා ළමා කතා, සත්ත්ව කතා, විහිළු කතා, සුරංගනා කථා, මාර කතා, යක්ෂ කතා ආදී වශයෙන් වර්ගකළ හැකිය.
උදා:- ඒ අතේ වැඩ හරි
එක කාලයක බොහෝ දක්ෂ කපු මහත්තයෙක් හිටියා එක ගමක කපුමහත්තයා කියන්නේ දන්නවනේ ඔය දේවාල කෝවිල්වල ඉන්න කපු මහත්තයල නොවෙයි. ගම්බද මගුල්තුලා කතාබහකරන අයට තමයි කපුවා කියන්නේ. ඒ කාලේ කපුවෝ හඳුනාගන්න පුළුවන් බොහෝ වේලාවට ඒ ගොල්ල අඳින්නේ පට සමරයි. කළු කෝට්එකයි. තව කුඩයකුත් ඕන. සමහර අය පුංචි කොණ්ඩයක් බඳිනවා. ඉතින් මෙහෙට කපු මහත්තයෙක් හිටියා කියමුකො.
එක ගෙදරක හිටිය මොකක් හරි අනතුරකින් කකුලක් නැතිව ගිය තරුණයෙක් මෙයාට පෙළවහක් කර දෙන්න දෙමාපියන් උත්සාහගත්තේ අර කකුල නැති නිසා ඒක බොහෝම පරක්කු වුණා. බැරිම තැන දෙමාපියන් මේ සඳහා ගෙන්නගත්තා කපුවෙක්. මං හොයල දෙන්නම්කො මෙයාට මනමාලියෙක් මෙහෙම කියලා කපුවා ගියා.
ඔය අතරේ මේ කපු උන්නැහේට තවත් ගමකින් ඉල්ලීමක් කරල තිබුණා. මේ ගමේ ගෙදරක ඉන්න ලමිස්සියක් ගැන. අනේ අවාසනාවකට එයාගේ උපතින්ම වම් අත නැහැ. දකුනු අත විතරයි තිබුණේ. ඉතින් අර කපුවා කල්පනා කරල මනමාලයගේ පැත්තට ගිහින් කිව්වා ඔන්න හරි සේරම කතා කරගත්තා අල්ලපු ගමේ හොඳ ලස්සන ලමිස්සියෙක් ඉන්නවා මම විස්තර කිව්වා ඒ අතේ වැඩ හරි කියලත් කිව්වා.
මනමාලිගේ පැත්තට ගිහින් කිව්වා ඔන්න මම තැනකට කතාකළා ගජ ඉලන්දාරියා විස්තරයක් කිව්වා ඒ පැත්ත නම් එක පයින් කියලා කිව්වා. මගුල් දිනෙත් ළඟා වුනා මනමාලයගේ පැත්තෙ අය මනමායත් එක්ක ගියා මනමාලියගෙ ගෙදරට මනමාලය ගියේ කිහිලි කරුවෙන් ඇයි කකුලක් නැහැනෙ.
ඉතින් මනමාලිගෙ ගෙදරට මේ පිරිස ගියහම එහෙ එක කලබලයක් මනමාලයට කකුලක් නැති බව දැනගත්තම ඒ ගොල්ල කපුවට දොස් තිබ්බා. නොසෑහෙන්න බැන්නා. ඒ ගමන කපුවා කියනවා.
ඇයි මං ඔහේලට කී දවසක් කිව්වද ඒ පැත්ත එක පයින් කියල. කොහොම වුණත් මනමාලිගෙත් අඩුවක් තිබෙන නිසා පස්සේ කමක් නැහැ කියල මංගල්ලෙ කරන්න හිතලා මනමාලි එක්ක ගෙන ආව සාලයට.
මනමාලිගෙ අතක් නැති බව මනමාලයගෙ නෑදෑයෝ දැක්කෙ ඒ වෙලාවේ. මනමාලයගෙ පැත්තෙ අය කපුවට දොස් තිබ්බා. ඒ ගමන කපුවා කියනවා. ඇයි ඔහෙලට කිව්වනෙ කීප වතාවක් ඒ අතේ වැඩ හරි කියලා මම වැරැද්දක් කළේ නැහැනෙ. කොහොම හරි කපුවගේ දක්ෂකම නිසා කකුලක් නැති මනමාලයයි. අතක් නැති මනමාලියි කසාද බැන්දා කියමුකෝ.
  • ජනකවි
ජනකවියෙහි අංග ලක්ෂණ
  1. සමස්ත සමාජය තුළම පැතිර සිටි උසස් පහත් භේදයක් නොමැතිව සමාජයේ රදළයාගේ සිට දුප්පතා දක්වාම පැතිර සිටි මාධ්‍යයක් වීම හා එමගින් සමස්ත සමාජයම ජනකවිය නම් වූ භාෂාංග භාවිත කිරීම.
  2. සරල සුගම බස්වහරක් මෙන්ම කටවහරක් බහුලව යොදා ගැනීම නිසා සමස්ත ජනයාට තේරුම් ගැනීමේ හැකියාව ලැබීම.
  3. වෘත්තය මට්ටමෙන් වෙනස් ආරක ජනකවි නිපදවීම හා එක් එක් වෘත්තිය අනුව තාලය රිද්මය හා භාෂා භාවිතය වෙනස්වීම.
  4. බොහෝ විට අව්‍යාජත්වය පිරි පැවතීම.
ජනකවිය වර්ගකිරීම
  1. වෘත්තිය හා බැඳුණු ජනකවි
  2. ආගමික ඇදහිලි හා දෙවියන් පිළිබඳ ජනකවි
  3. ඓතිහාසිකත්වය හෙලිකරන ජනකවි
  4. විනෝදය සඳහා භාවිත ජනකවි
  5. සිරිත් විරිත් හා අභිචාරවිධි සම්බන්ධ ජනකවි
  6. උපහාසය හා බැඳුණු ජනකවි
  7. භාවමය ජනකවි
  • වෘත්තිය හා බැඳුණු ජනකවි
බමර අඬන්නා කඳු බඩ නෙළුම් මලේ
බමරු මිස දෙබරු නාඬත්ද මොර මලේ
මුතු කුඩ සේම රැලි ඉල්ලා බඳිති ගලේ
පැදලා කපන්නම් රූ සිරි ගොවිඳු ගලේ
(මළිඟු කවි)
  • ආගමික ඇදහිලි හා දෙවියන් පිළිබඳ ජනකවි
නමස්කාර කරමුව ඉර දෙවියන්ට
නමස්කාර කරමුව සඳ දෙවියන්ට
නමස්කාර කරමුව ගණ දෙවියන්ට
නමස්කාර කරමුව අවසර ගන්ට
  • ඓතිහාසිකත්වය පොළිකරන ජනකවි
සිරි ලංකාපුර වසනා සුදනනි
මඳක් අසනු මෙය සමාවෙලා
සිරි ලංකාපුර පෙර විසූ රජවරු
දිවි රැක්කේ ගොවිතැන් කරලා
සිරි ලංකාපුර සියලූම සැපතින්
බැබළී තිබුණෙලූ පොරණ කලා
සිරි ලංකාපුර පෙර විසූ ගොවියෝ
හී පද හැටි දැන් අහපල්ලා
  • විනෝදය සඳහා භාවිත ජනකවි
ඔළිඳ තිඛෙන්නේ කොයි කොයි දේසේ
ඔළිඳ තිඛෙන්නේ බංගලි දේසේ
ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ
ගෙනත් සදන්නේ සිංහල දෙසේ
(ඔළිඳ කෙළිය)
  • සිරිත් විරිත් හා අභිචාර විධි සම්බන්ධ ජනකවි
වත්තේ සිවුකොණ කවුළු තහංචි
මඩුවත් ඇඳ පුටු වියන් තහංචි
සබයෙන් කෙතලේ කෙණ්ඩි තහංචි
මෙමගුල් ගෙදරට එන්ඩ තහංචි

  • උපහාසය හා බැඳුණු ජනකවි
පොට්ටනියේ මොනවද බොල ලිහාපන්
කොට්ට පැදුරු පළමු බිම තියාපන්
හැට්ට අතට යටකළේ තිම බලපන්
පට්ට පඳුරු දහමන්දිරි කියාපන්
  • භාවමය ජනකවි
“දඹරන් කඳ වගේ ගන තුනටිය ගස්සා
නුඹ පිපි මලයි මම පැණි බොන මීමැස්සා
සැබැවින් ළදේ නුඹ නම් මට විස්සාසා
නුඹ ගැන මගේ පණවත් දෙනවා එනිසා”
  • ප්‍රස්තාව පිරුළු
ජනශ්‍රැතියේ අගයක් වන ප්‍රස්තාව පිරුළු නිර්මාණය වී ඇත්තේ කිසියම් ප්‍රස්තාවක් පදනම් කොටගෙනය. නැතහොත් සිද්ධියක් පදනම් කොටගෙනය. මෙම ප්‍රස්තාව පිරුළු අවස්ථා බෙදා දැක්විය හැකිය.
එනම්,
  1. වෘත්තාන්ත පිරුළු
  2. සහධර්ම පිරුළු
  3. සත්‍ය ධර්ම පිරුළු
  4. සතුන් මුල්කරගත් පිරුළු
  5. අනුප්‍රාසය මුල්කරගත් පිරුළු
  6. නව්‍ය පිරුළු
  • වෘත්තාන්ත පිරුළු (සිද්ධියක් මුල්කොට ඇති)
කිසියම් කතාපුවතක් පදනම් කොටගෙන ව්‍යවහාරයට පැමිණ ඇති පිරුළු වෘත්තාන්ත පිරුළු වේ.
  1. කළුවා මාරපන් ගියා වගෙයි.
  2. ගමරාල සිල්ගත්තා වාගෙයි
  3. හතර බීරි කතාව වගෙයි.
  4. කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගෙයි.
  5. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වාගෙයි.
  6. හොරාගෙ අම්මගෙන් පේන ඇහුවාවගෙයි.
  7. පරංගියා කෝට්ටේ ගියා වගෙයි.
  8. ආඬිහත්දෙනාගේ කැඳ හැළිය වාගෙයි.
  • සාරධර්ම පිරුළු (සමානත්වයක් ඇති)
කිසියම් ධර්මතාවක් හඳුන්වාදීම සඳහා යෙදෙන පිරුළු සාරධර්ම පිරුළු නම් වේ.
  1. ගලේ කෙටූ අකුර වගෙයි.
  2. නරියා පඹගාලේ පැටළුණා වාගෙයි.
  3. අඟේ ඉඳන් කන කනවා වාගෙයි.
  4. නැගපු ඉනිමගට පයින් ගහනවා වගෙයි.
  5. අශ්වයාට අං ලැබුණා වගෙයි.
  6. උරැලෑවා ගිය පාර වාගෙයි.
  • සත්‍යධර්ම පිරුළු
කිසියම් ධර්මතාවක් හඳුන්වාදීම සඳහා යෙදෙන පිරුළු සත්‍යධර්ම පිරුළුය.
  1. ආරේ ගුණ නෑරේ
  2. ඇවිද්ද පය දහස් වටී.
  3. අවිගත්තෝ අවියෙන්ම නසිති.
  4. තමා හිසට තම අතමය සෙවනැල්ල.
  5. පිරුණු කලේ දිය නොසැලේ.
  6. කට බොරු කිව්වත් දිව බොරු නොකියයි.
  • සතුන් මුල් කරගත් පිරුළු
  1. ලුලා නැති වලට කණයා පණඩිතයාලූ
  2. ඉබ්බා දියට දැම්මාම ඈන්නෑවේ කියපි
  • අනුප්‍රාස රසය මුල්කරගත් පිරුළු
  1. වක්කඩේ හකුරු හැංගුවා වගේ
  2. කොළඹට කිරි අපට කැකිරි
  3. දැනගෙන ගියොත් කතරගම නොදැනගියොත් අතරමග
  4. ජරමර අස්සේ බර කරත්ත
  5. කොරේ පිටට මරේ
  • නව්‍ය පිරුළු
  1. අලිමංකඩ යනවා කියල පාමංකඩ ගියා වගේ.
  2. කිලිනොච්චියෙ යනවා කියල මැදවච්චියේ ගියා වගේ.


9 ඔබගේ අදහස් අපට බොහෝ වටිනවා.කමේන්ට් එකක් දාන්න:

Unknown said...

ගොඩක් වටින ලිපියක්. බොහෛා්ම ස්තූතියි. මගේ අවසන් වසර උපාධියට මෙම කරුණු බොහෝ වැදගත්.

Shani said...

ස්තුතියි. ජනශ්‍රැතියේ ප්‍රබේධ කිව්වම අයත් ⁣වෙන දේවල් දැනගන්න කැමතියි.

Unknown said...

Bohoma wadagath lipiyak..thawath mewani sahithya sewa karannata dairya labewa .theruwan saranai .

Unknown said...

මගේ උපාධියට ගොඩාක් වැදගත් වුණා.ගොඩාක් පිං

Unknown said...

මගේ අවසන් වසර විභාගයට ගොඩක් වැදගත් උනා. ස්තූතියි ඔබට

J.M.Achintha Ayaskantha said...

බොහෝම වැදගත් පැහැදිලි කිරීමක්.ඔබට ස්තුතියි.ජයම වේවා !

Anonymous said...

බොහොම වටින ලිපියක්.තෙවන වසර මාගේ උපාධියට වැදගත් විය

obust A said...

👍

Anonymous said...

බෞද්ධ සම්ප්‍රදායට අනුව කල්ප විනාශය මිථ්‍යාවක් කියන්න තියෙන සාධකය මොකක්ද

Post a Comment