10/31/2011

ලංකාවේ සාහිත්‍ය අනාගතය, බියකරු ඉරණමකට ගොදුරුවන්නට නියමිතයි

ලංකාවේ සාහිත්‍ය අනාගතය,
බියකරු ඉරණමකට ගොදුරුවන්නට නියමිතයි 

ප්‍රවීණ ලේඛක ජයතිලක කම්මැල්ලවීර


ජයතිලක කම්මැල්ලවීර කෙටිකතාව සිය මුඛ්‍ය ප්‍රකාශන මාධ්‍යයබවට පත්කරගත්, ඒ හා සමගාමීව නවකතාව ඔස්‌සේද පාඨකයා ආමන්ත්‍රණ කරන්නට සමත්කම් පෑ, සිංහල නවකතාව, කෙටිකතාව විෂයයෙහි සිය අනන්‍යතාවය සලකුණු කිරීමට සමත් වූ ලේඛකයෙකි. ඔහුගේ නිර්මාණාත්මක ලේඛන භාවිතයේ වෙසෙස්‌ සලකුණු තැබීමට සමත් වූ "චුම්බන කන්ද" නවකතාව පසුබිම් කරගනිමින් සිදුකළ දීර්ඝ සංවාදයක සංක්‍ෂිප්ත සටහනකි පහත පළවන්නේ


ප්‍රශ්නය - නවකතාවක්‌ යනු ගැඹුරු සත්‍යයක්‌ ආවරණය කරගත් අසත්‍යයක්‌. "චුම්බන කන්ද" නවකතාවට පදනම් වූ සමාජ සත්‍යය පැහැදිලි කළොත්?

පිළිතුර - මේ නවකතාවේ කර්තෘ සටහනෙහි මම සටහන් කර තිබෙනවා. මෙහි සමාජ දේශපාලනික කාරණා ඇතත් ඒවායේ දිග පළල ගැන ඕනෑවට වඩා සිත නොවෙහෙසා මෙය පුහුදුන් මිනිසා පිළිබඳ ප්‍රබන්ධයක්‌ බව සිහියේ තබාගෙන කියවන ලෙස. ඒ සටහන ලියන්නට පෙළඹුණේ මේ කතාවේ සැකිල්ල තුළ විප්ලවවාදී දේශපාලනයට යොමුවූ පුද්ගලයන් තිදෙනකුගේ පසුකාලීන ජීවිතය නිරූපණය වුවත් එයින් මා බලාපොරොත්තු වුණේ නැහැ. විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයක ගමන්මග පිළිබඳ මගේ අර්ථකථනය ලබාදෙන්න. එය මට කියන්න අවශය දේ කියාපෑමට භාවිත කළ සැකිල්ලක්‌ පමණයි. මේ නවකතාව කතාන්දරයක්‌ කියාපෑම සඳහා ලියන ලද්දක්‌ නොවේ. මිනිස්‌ ජීවිතය පිළිබඳ සංකේත පද්ධතියක්‌. ඒ නිසා මෙයට මගේ ජීවන අද්දැකීම් සමග ලොකු සම්බන්ධයක්‌ නැහැ.


ප්‍රශ්නය - ඔබ එසේ සඳහන් කළත්, මේ නවකතාව පුරාම දිගහැරෙන්නෙ මිනිසා සාමූහික දේශපාලන සත්ත්වයකු ලෙස සිතීම අතහැර, හුදු පුද්ගලවාදී සිහින දකින්නකු බවට පත්වීමෙන් අත්කරගත් ෙ€දජනක ඉරණම?

පිළිතුර - ඔව්. ඒක එක පැත්තකින් කතා සැකිල්ල තුළ කියවෙනවා. මගේ ලිවීමේ විධි ක්‍රමය තුළ කිසියම් පාඨකයකුට එකවර කියවා රසවිඳින්න හැකි කතා සැකිල්ලකුත් තිබෙනවා. නමුත් ඒ කතා සැකිල්ල ඔස්‌සේ යනවිට පාඨකයාට නැවත නැවත කියවීමට පෙළඹවීමක්‌ ඇති කරන්න මා උත්සාහ කරනවා. එසේ නැවත නැවත කියවීම තුළ ඒ කතා සැකිල්ලට අමතරව වෙනත් දේවල් පසක්‌ කරගන්න හැකිවෙනවා. මේ කතාව තුළදිත් එය කරන්න මා උත්සාහ කළා. චුම්බන කන්ද නවකතාව තුළින් අපේ රටේ විප්ලවවාදී දේශපාලන සංවිධානවල ගමන් මග පිළිබඳව කියවලා වින්දනය කරන්නත් පුළුවන්. එයත් මා අපේක්‍ෂා කළ දෙයක්‌. විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයකට බැඳෙන්නෙත් මිනිස්‌සුනෙ. ඒ මිනිස්‌සු අමුතු මිනිස්‌සු නොවෙයි. පෘථග්ජන මිනිස්‌සු, ඒ අයට අමුතු ආකාරයකට ක්‍රියා කරන්න බැහැ. ඒ අයත් සාමාන්‍ය මනුෂ්‍යයො හැටියටම ක්‍රියා කරනවා. එසේ ක්‍රියා කිරිමේදී ඔවුන් අතින් වැරැදි සිදුවෙනවා. දුර්වලකම් ඇතිවෙනවා. සමාජ සදාචාර මිනුම් දඬු අනුව බැලූ විට හොඳ සහ නරක තිබෙනවා. පළමුවැනි කියවීමකදී නැතිනම් මතුපිට කියවීමකදී ඒ කාරණා පසක්‌ වෙනවා. නමුත් ඊට එහා ගිය තවත් සංකේත පද්ධතියක්‌ මේ නවකතාව තුළට ඇතුළත් කරන්න මා උත්සාහ කළා. මනුෂ්‍යය ජීවිතය පිළිබඳ පොදු සත්‍යයක්‌ අනාවරණය කරන්න මා උත්සාහ කළා. අපේ රටේ සිටින දක්‍ෂ විචාරකයෙක්‌ වන ආචාර්ය ලියනගේ අමරකීර්ති සිය විචාරය මගින් මා මතුකරන්න උත්සාහ කළ දේ හඳුනාගෙන තිබුණා. ඔහු එම විචාරයේ ශීර්ෂය යොදා තිබුණෙත් නවකතාවේ අර්ථ නිෂ්පාදන ක්‍රියාවලිය සහ ජයතිලක කම්වැල්ලවීරගේ "චුම්බන කන්ද" යන නමින් අර්ථ නිෂ්පාදන ක්‍රියාවලිය කතන්දර කීමට එහා ගිය දෙයක්‌. එයයි මා අපේක්‍ෂා කළේ. දියුණු පාඨකයා විසින් ග්‍රහණය කර ගනියි කියා. එය සාමාන්‍යය පාඨකයාට ග්‍රහණය කරගත නොහැකි දෙයක්‌ නොවෙයි. ඔහුට එය දැනෙන්නේ අවිඥනිකව චුම්බන කන්ද නවකතාව තුළින්ම මට මේ සඳහා නිදසුන් ඉදිරිපත් කළ හැකියි. ඒත් අවස්‌ථාවක්‌ ඉදිරිපත් කළොත් විප්ලවවාදී දේශපාලනයට සම්බන්ධ වූ චරිත දෙක අතුරින් එක්‌ චරිතයක්‌ පසු කාලීනව ධනේශ්වර දේශපාලනයට සම්බන්ධ වෙලා. ධනේශ්වර සිතුම් පැතුම් සහිත පුද්ගලයෙක්‌ බවට පත්වී එක්‌ අවස්‌ථාවකදී හදිසියේම චුම්බන කන්දට පැමිණෙනවා ස්‌ත්‍රියක සමග. ඇය ඔහුගේ බිරිඳ නොවෙයි. ඔවුන් පුරා හඳ ඇති රැයක එළිමහනේ ගල්තලාවක සම්බෝග සුව විඳින අවස්‌ථාවේ මා ඒ චරිත හඳුන්වන්නේ ඒ ස්‌ත්‍රිය සහ පුරුෂයා යනුවෙන්. ඔවුන්ගේ නම්වලින් හෝ වෙනත් හැඳින්වීමකින් නොවෙයි. එය දැනුවත්ව කළ දෙයක්‌. මන්ද මේ ස්‌වභාවය ඔවුන්ට පමණක්‌ නොවෙයි සියලු ස්‌ත්‍රී පුරුෂයන්ට පොදු හැසිරීමක්‌ බව යටිතලයෙන් කියවෙන්නටයි එම උපාය භාවිත කළේ.

ඔවුන් ප්‍රේමාලිංගණයේ යෙදෙන්නේ ගල් තලාවක්‌ මත. ඒ ගල්තලාව නම්කර තිබෙන්නේ පුංචි සීගිරිය ලෙස. පුංචි සීගිරිය නම යෙදුවේද සැලසුම් සහගතවයි. ඒ නවකතාව කියවන ඕනෑම පාඨකයෙක්‌ සීගිරිය හඳුනනවා. අතීතයේ සීගිරියේ සිදුවූ දේ ඔස්‌සේ මහා සීගිරියේ විසූ කාශ්‍යප රජුත් කොතරම් සෞන්දර්යයකාමී ලෞකික සැප භුක්‌ති වින්ද කෙනෙක්‌ද නොඑසේනම් පුංචි සීගිරියේ මොන මොන විසිතුරු දැ සිදුවන්නට ඇද්ද යන්න පරිකල්පනය කර ගන්නටයි මා ඒ උපක්‍රමය භාවිත කළේ. මේ ආකාරයේ උපක්‍රම ජාලයක්‌ යොදා ගනිමින් විවිධ අර්ථ තල නිෂ්පාදනය කිරීමට මා දැනුවත් ව්‍යායාමයක නිරතවුණා.


ප්‍රශ්නය - බොහෝවිට ලේඛකයන් සමඟ සාකච්ඡා කිරීමේදී අනාවරණය වන කරුණක්‌ වන්නේ කෘතියේ බහුශාබ්ධික ගුණය නැතිනම් අර්ථ තල නිෂ්පාදනය වීමේ ස්‌වභාවය ලේඛකයා දැනුවත්ව සිදුකරන ක්‍රියාවකට වඩා අවිඥනිකව සිදුවන ක්‍රියාවලියක්‌ බව. එහෙත් ඔබේ ඉහත පිළිතුරෙන් ඊට වෙනස්‌ භාවිතයක ඔබ සිටින බවයි ප්‍රකාශ වෙන්නෙ?

පිළිතුර - මම හිතන්නෙ නිර්මාණ කරුවෙක්‌ විවිධ අර්ථ තල නිෂ්පාදනය වන ආකාරයට දැනුවත්ව කරන ක්‍රියාවලියෙ ප්‍රතිඵලයක්‌ තමයි බහු අර්ථ නිෂ්පාදනය වීම මම මේ නවකතාව තුළ පමණක්‌ නොවෙයි සියලුම මගේ නිර්මාණ තුළ මේ ආකාරයට දැනුවත්ව අර්ථ තල නිෂ්පාදනය කරන්න මැදිහත් වෙනවා. මගේ දැනුවත් බවින් තොරව වුවත් විවිධ අරුත් නිෂ්පාදනය විය හැකියි. මා සිතන්නේ එයත් දැනුවත්ව සිදුකරන රචනයක අතුරු ප්‍රතිඵලයක්‌ විනා ඕපපාතික දෙයක්‌ නොවෙයි.

ප්‍රශ්නය - "අතුරුපස" යනුවෙන් උපග්‍රන්ථයක ආකාරයෙන් කොටසක්‌ එක්‌ කරමින් මේ නවකතාවේ ආකෘතියේ අපූර්ව අත්හදා බැලීමක්‌ කර තිබෙනවා. යථාර්ථවාදී කතන්දර ආකෘතියේ සීමාකම් ජයගැනීමේලා එය ඉතා වැදගත් උපක්‍රමයක්‌. නවකතාවක ආකෘතිය ගොඩනගා ගැනීමේදී ඔබ අනුගමනය කරන ක්‍රමවේදය කෙබඳුද?

පිළිතුර - මගේ ලිවීමේ භාවිතාව වෙන්නේ, ඔළුවට යමක්‌ ආ සැණින් ලියන එක නොවෙයි. නවකතාවකදී පමණක්‌ නොවේ ඇතැම් කෙටිකතාවක්‌ ලිවීමේදී පවා වසර ගණනාවක්‌ ගතකර ඇති අවස්‌ථා අනන්තයි. ඒ මට සන්තෝෂ වියහැකි ආකාරයට කතාව ඉදිරිපත් කරන්න.

වස්‌තු බීජයක්‌ සිතේ ඇති වූ සැණින් එය මට සෑහීමට පත්විය හැකි නිර්මාණයක්‌ බවට පත්වනතුරු මනසේ එහාට මෙහාට පෙරළමින් බොහෝ කාලයක්‌ ගත කරනවා. කාලයත් සමඟ එම වස්‌තු බීජය ඉදිරිපත් කළ හැකි ආකෘතිය, භාෂාව, වාක්‍ය ස්‌වරූපය පවා තීන්දු වෙනවා. චුම්බන කන්ද නවකතාව ලියන්න මුල් පෙළඹීම ඇති වුණේ වසර දහයකට පමණ පෙර. අරණායක ප්‍රදේශයේ වන අරණක තනිවම ජීවත්වූ මනුෂ්‍යයෙක්‌ මට මුණගැහෙනවා. ඔහු 71 කැරැල්ලට සම්බන්ධ පුද්ගලයෙක්‌. ඔහුටම ආවේණික නීති පද්ධතියක්‌ එහි ක්‍රියාත්මක වුණා. මේ චරිතය හඳුනාගන්න ලැබී වසර දහසක්‌ පමණ කාලය ගතවුණා. චුම්බන කන්ද ලියවෙන්න. ඒ අතරතුර අවස්‌ථා තුනක දී ලියන්න උත්සාහ කළා සාර්ථක වුණේ නැහැ. ඊට හේතුව වුණේ මෙය ඉදිරිපත් කළ හැකි ආකෘතිය නිරවුල්ව අවබෝධ නොවීමයි. එක්‌ අවස්‌ථාවකදී ආකෘතිය නිරවුල් වීමත් සමඟම කතාව ලිවීම ආරම්භ කළා. එහිදී දිනපොත් ආකෘතිය සහ ස්‌ත්‍රී චරිත වෙනමම ඉදිරිපත් කළ යුතුයි යන අදහස මා තුළ තිබුණා. අතුරුපස කියන කොටස ළඟට එනවිට කතාව කියා අවසන්. එහෙත් අවශ්‍ය කෙනෙකුට අතුරුපසත් භුක්‌ති විඳිමින් ආහාරවේල සම්පූර්ණ කර ගන්න පුළුවන්. මා විශ්වාස කරන සත්‍ය වන්නේ නිර්මාණ කෘතියක ආකෘතිය නිර්මාණය කර ගැනීමේලා වැදගත්ම දෙය වන්නේ විවේක බුද්ධිය.


ප්‍රශ්නය - නවකතා රචනයේදී ඔබ අනුගමනය කරන සංස්‌කරණ ක්‍රමවේදය කෙබඳුද?

පිළිතුර - මගේ ලිවීමේ රටාව මඳක්‌ වෙනස්‌. මා අතින් ලියන අවධියේදී කතාව එකවරම ලියා අවසන් කරනවා. පසුව නැවත කියවා බලමින් මට සෑහීමට පත්විය නොහැකි තැන් නැවත ලියනවා. සමහර අවස්‌ථාවලදී මුළු කතාවම නැවත ලියනවා. දැන් මම පරිගණකයෙන් ලියන්නෙ. ඒ තාක්‌ෂණික පහසුව නිසා ලියන ඡේදයෙන් ඡේදයම ඒ මොහොතේ හෝ පසුව සංස්‌කරණය වෙනවා. යළි යළිත් සංස්‌කරණය වෙනවා. මා විසින් ලියූ "ජීවිතයෙන් උපන් කතා" කෘතියේදී පෙර ලියූ කෙටි කතා දහයෙන් සංස්‌කරණය වූ ආකාරය දක්‌වලා තිබෙනවා. එහිදී ඇතැම් කෙටිකතා මුල් රචනය ඡේද, වාක්‍ය, වචන ආදී ලෙස වෙනස්‌ වී ඇති ආකාරය දැකිය හැකිය.


ප්‍රශ්නය - ඔබේ බොහෝ නිර්මාණ විමසා බැලීමේදී දැකිය හැකි පොදු සත්‍යයක්‌ වන්නේ යථාර්ථවාදී කතන්දර කලාව කෙරෙහි දැඩි නැඹුරුවක්‌ ඇති බවයි. ලංකාවේ ඇතැම් විචාරකයන්ගේ අදහස වෙන්නේ යථාර්ථවාදය තවදුරටත් සමකාලීන සමාජ යථාර්ථය ඉදිරිපත් කිරීමේලා ප්‍රමාණවත් නොවන බවයි. මේ පිළිබඳ ඔබේ පැහැදිලි කිරීම කෙබඳුද?

පිළිතුර - ලංකාවේ සිටින විචාරකයන් බෙදා වෙන් කර පෙන්වන, යථාර්ථවාදය, අධියථාර්ථවාදය, ඉන්ද්‍රජාලික යථාර්ථවාදය, සමාජ සත්ථා යථාර්ථවාදය යන සාහිත්‍යය රීතීන් අතරේ තියුණු බරපතළ වෙනස්‌කම් නොමැති බවයි මගේ අදහස. ඉන්ද්‍රජාලික යථාර්ථවාදී රීතිය භාවිත කරනවා යෑයි විචාරකයන් හඳුන්වන ගාර්ෂියා මාර්කේස්‌, ඉසබෙල් අයියන්දේ වැනි ලේඛක ලේකාවන්ගේ කෘති කියවීමේදී පැහැදිලි වෙනවා. මේවායේ විශාල වෙනස්‌කම් නොමැති බව, මේවා සම්මිශ්‍රණයක්‌. මගේ නවකතාව තුළදිත් සම්මත විචාරකයන් යථාර්ථවාදයේ ලක්‌ෂණ ලෙස පෙන්වාදෙන නිර්ණායක ඛන්ඩනය වී තිබෙනවා. සාහිත්‍ය කියන්නෙම අතිශෝක්‌තියක්‌. චරිත විශාල සංඛ්‍යාවක්‌ හැසිරෙන සමාජයෙන් චරිත කිහිපයක්‌ වෙන්කර උලුප්පා ගැනීමම ඒ චරිත සෙසු චරිතවලට වඩා වෙන්කර විශේෂකර පෙන්වීමක්‌. එයත් අධියාථාර්ථයක්‌. මෙහි ප්‍රමාණය තීරණය කර ගැනීම ලේඛකයා සතු දෙයක්‌. ලංකාවේදී යථාර්ථවාදය හඳුනගන්නෙ වැරදියට. එය ස්‌වභාවික වාදයක්‌ සමඟ පටලව ගත්තා. යථාර්ථය ඒ හැටියෙන්ම ලිවීම ස්‌වභාවික වාදය මිසක්‌ යථාර්ථවාදය නොවෙයි. යථාර්ථවාදය සීමා මායිම් අප තවම හඳුනාගෙන නැහැ. ලාංකික ලේඛකයන් තවදුරටත් අත්හදා බැලීම් කළ යුතුයි. යථාර්ථවාදයේ නවමු ඉසව් ගවේශනය කිරීමට.

මගේ "පුරාහඳ" නවකතාවෙන් සාකච්ඡා වෙන්නෙ පන්සල්වල සිදුකෙරෙන සමලිංගික අපහරණයන් ගැන. මෙය ආන්දෝලනාත්මක මාතෘකාවක්‌ සිංහල බෞද්ධ සමාජයට. මේ කතාන්දරය කීම සඳහා ආකෘතියක්‌ සොයමින් සිටින අවධියේ සෝමලතා සුබසිංහගේ "මවකගේ සංග්‍රාමය" වේදිකා නාට්‍ය බලන්න අවස්‌ථාව ලැබුණා. එහි මගේ දුව චරිතයක්‌ නිරූපණය කළා ගොළු දැරියකගෙ. ඇයට සිදුවන දුක්‌ ගැහැට ප්‍රකාශ කරන ආකාරය ඔස්‌සේ මා පුරාහඳ නවකතාවට ආකෘතියක්‌ නිර්මාණය කරගන්න ආභාෂය ලබාගත්තා. පුරාහඳ නවකතාවේ ප්‍රධාන චරිතය ගොළුවෙක්‌. ඔහු කතා කරන්නෙ චිත්‍ර මගින්. එම චිත්‍ර නවකතාවේ පරිච්ඡේද ලෙස ඇතුළත් වුණා. ඒ ඔස්‌සේ මගේ කතාව ඉදිරිපත් කළා. මේ ආකාරයට යථාර්ථවාදය ඔස්‌සේ නව අත්හදාබැලීම් කළ හැකියි. මා විශ්වාස කරන්නෙ නැහැ යථාර්ථවාදය යල්පැනලයි කියා.


ප්‍රශ්නය - සාහිත්‍යය කියන්නෙම භාෂාත්මක නිර්මිතයක්‌. එහිදී සාහිත්‍යය අංගයක්‌ වන නවකතාවේදීද භාෂා භාවිතය අවසාන අර්ථ නිෂ්පාදනයට සේම චමත්කාරය ගෙනදීමේදී ද වැදගත්. නවකතාවේ භාෂාව භාවිතය පිළිබඳ ඔබේ අස්‌ථානය?

පිළිතුර - අන්තර්ගතය හරිහැටි සංන්නිවේදනය කරන්න අවශ්‍ය තියුණුම ආකෘතිය ගොඩනඟා ගැනීමේදී, එම ආකෘතිය විසින් ඉල්ලා සිටින භාෂාවක්‌ තිබෙනවා. එම ඉල්ලා සිටීමට අනුව භාෂාව ගොඩනැඟිය යුතුයි. අපේ රටේ බොහෝ ලේඛකයන්ගේ ගැටලුවත් මෙයමයි. ලේඛකයකුගේ නම සඳහන් නොකර කෘති කිහිපයක්‌ කියවන්නට ලැබුණු විට ඔහු භාවිත කරන භාෂාව අනුව මේ අසවල් ලේඛකයාගේ කෘතියක්‌ යෑයි තීරණය කළ හැකියි. විවිධ අන්තර්ගතයන් විය හැකියි. එහෙත් එකම බසකින් ඉදිරිපත් කර තිබෙන්නේ. මේ තත්ත්වය මා හොඳින් ග්‍රහණය කරගත් දෙයක්‌.

හැම අවස්‌ථාවකටම හැම සිදුවීමකටම රිද්මයක්‌ තිබෙනවා. ඒ රිද්මය භාෂාවෙන් ගොඩනැඟිය යුතුයි. එම රිද්මය ගොඩනැඟීමට භාෂාව අසමත් වනවානම් අන්තර්ගතය සංනිවේදනය වීමෙහිලා එය බාධාවක්‌ වෙනවා. රිද්මය භාෂාවෙන් ගොඩනඟන්න සමත් වනවානම් පාඨකයාට ලැබෙන වින්දනය ඉහළයි. මේ ධර්මතාව විශ්වාස කරමිනුයි මා නිර්මාණාත්මක ලේඛනයේ යෙදෙන්නේ. චුම්බන කන්ද නවකතාවේ ප්‍රධාන චරිතය සිංහයා නොවෙයි. චුම්බන කන්දයි. මේ කන්ද මනුෂ්‍ය ජීවිතයේ සංකේතයක්‌. මෙහි බිය, අඳුර, සැකය වංචාව, තමා විසින් තමා රවටා ගැනීම, සමාජය රැවටීම, තන්හාව, රාගය, ව්‍යාජ ප්‍රේමය, සැබෑ ප්‍රේමය සෞන්දර්ය අවසානයේ මරණය තිබෙනවා. ජීවිතයත් මේ හා සමානයි. ඒ නිසා කතාවේ ප්‍රධාන චරිතය චුම්බන කන්දයි. එනම් ජීවිතයයි. මෙය නිරූපණය කරන්න අවශ්‍ය රිද්මය නිර්මාණය කරගැනීමට යොදා ගතයුතු භාෂාව මා සොයාගත යුතුව තිබුණා. ඒ සඳහා මා දීර්ඝකාලයක්‌ තිස්‌සේ ලැබූ අභ්‍යාසය ප්‍රයෝජනවත් වුණා. එහෙත් මේ භාෂාව වෙනත් අන්තර්ගතයක්‌ සඳහා යෝග්‍ය වෙන්නෙ නැහැ. මා නිතර උත්සාහ කරන දෙයක්‌ වන්නේ මගේ කතන්දරයක්‌ කියවන විට එහි භාෂාවෙන් කම්මැල්ලවීරගේ කන්දරයක්‌ බව නොහැඟෙන්න ලියන්න.


ප්‍රශ්නය - මෑත කාලයේ විශිෂ්ටම ගණයේ නොවුනද දියුණු මට්‌ටමේ නවකතා රැසක්‌ බිහිවුණා. "ඔබ සමග", "ලලිත සමය", "චුම්බන කන්ද", "වීදුරු කුඩු කැවුණු කලෙක" වැනි කෘති ඒ අතරින් කිහිපයකි. එහෙත් මේවා සමාජගත කිරීම සඳහා අවශ්‍ය විචාර කතිකාවතක්‌ තවම අපේ සාහිත්‍ය ක්‌ෂේත්‍රයෙන් ගොඩනැඟී නැහැ. මේ විචාර අර්බුදය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර - තමන් කරන කාර්යය පිළිබඳ බරපතළ වගකීමක්‌ සහිත විචාරකයො අපේ රටේ ඉතා අඩුයි. එසේ ගොඩනැගෙන්න අවශ්‍ය වටපිටාවක්‌ දකින්නත් නැහැ. ඒවා උත්සාහයෙන් ගොඩනැඟෙන්නට වෙර දරණ විචාරකයකුත් විනාශ කරන්න නිර්මාණය වූ වැඩපිළිවෙළවල් රාශියක්‌ තමයි දකින්න ලැබෙන්නෙ. පාඨකයාගේ රසඥතාව, වින්දන පරාසය දියුණු කර ගැනීම ලේඛකයාට, විචාරකයාට සැලසුම් සහගතව කළ හැකි දෙයක්‌.


ප්‍රශ්නය - ලේඛකයා යනු තමා ජීවත්වන සමාජය ඇතුළතින් පුපුරුවා හරින කැරලි කරුවෙක්‌. එබැවින් ඔහු පාලනය කළ යුතුයි යන ස්‌ථාවරයට රාජ්‍ය බලධාරීන් පැමිණියහොත්,

පිළිතුර - මා විශ්වාස කරන ආකාරයට නොබෝ දිනකින්ම ඒ තත්ත්වය උදාවේවි. එවන් තත්ත්වයක්‌ ඉල්ලා සිටින සංවිධානාත්මක ව්‍යාපාරයක්‌ සාහිත්‍ය ක්‌ෂේත්‍රය තුළින්ම පැනනැගී ඇති බවයි මගේ අදහස. උදාහරණයක්‌ ලෙස අසවල් අසවල් නවකතා සඳහා දඬුවම් දීමේ ක්‍රමයක්‌ තිබිය යුතුයි වැනි දෙයක්‌. මෑත කාලෙ එළිදැක්‌වුණු නවකතාවක්‌ පිළිබඳ සංවාද මණ්‌ඩපයකදී මේ මතවාදය මහාචාර්යවරයෙක්‌ගේ මුවින්ම පිටවුණා. ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ පසුගිය කාලය පුරාම රාජ්‍ය සම්මාන හිමිකර දුන්නෙ සමාජය දූෂණය කරන, ගැහැනු මිනිසුන්ගේ විකෘති ලිංගික චර්යාවන් උලුප්පා දක්‌වන කෘතිවලට එහෙත් දැන් ඉතාම පිරිසිදු සාහිත්‍ය කෘතියක්‌ බිහිවෙලා තිබෙනවා. (ඔහු වර්ණනා කළ කෘතිය) එබැවින් මේ කෘතිය පරමාදර්ශ කරගත යුතු බවයි. මේ අදහස්‌ ප්‍රකාශ කර සිටියේද සුළුපටු චරිතයකට නොවෙයි. කලා මණ්‌ඩලයේ ඉහළම තනතුරුධාරියකුට උපදේශයක්‌ ලෙසයි. එසේම ආණ්‌ඩුව ඇතුලේ සිටින යම් යම් ජාතිවාදී කණ්‌ඩායම් විසින් ලංකාවේ සංස්‌කෘතිය සකස්‌විය යුතු ආකාරය පිළිබඳ ඉතාම ගෝත්‍රිකවාදී අදහස්‌ බලගන්වමින් සිටිනවා. මේ කරුණු සළකා බැලීමේදී පේනව ලංකාවේ සෙසු කලා මාධ්‍යයන් සේවා සාහිත්‍යයෝද අනාගතය ඉතාම අඳුරු බියකරු ඉරණමකට ගොදුරුවන්නට නියමිත බව.


ප්‍රශ්නය - මේ තත්ත්වයට එරෙහිව නිර්මාණ කරන්නේ සැබෑ නිදහස වෙනුවෙන් ලේඛකයන් එක්‌වී වැඩපිළිවෙළක්‌ ගොඩනඟාගත හැකියි?

පිළිතුර - අවසනාවකට මේ තත්ත්වය පිළිබඳ අඩුවෙන්ම සංවේදී පිරිස ලේඛකයන්··

0 ඔබගේ අදහස් අපට බොහෝ වටිනවා.කමේන්ට් එකක් දාන්න:

Post a Comment