11/01/2011

පෝ නමැති පැන්ඩා ලෝඩ් ෂෙන්ට එරෙහිව කුංෆු පැන්ඩා -2



කුංෆූ සටන් කලාව සහිත චිත්‍රපටවලට ලැබුණේ ඉමහත් ජනප්‍රියත්වයකි. එනිසාමදෝ එම සටන් කලාවට මූලිකත්වය දෙමින් නිමැවුණ සජීවීකරණ සිනමා පටයක් 2008 වසරේ ජූනි 6 දා සිට ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් ලබමින් ප්‍රදර්ශනය වූයේය. ‘කුංෆූ පැන්ඩා’ යන නමින් හැඳීන් වූ එම චිත්‍රපටය ලැබූ ජනප්‍රියත්වය හා ආදායම් අතින් ලැබූ සාර්ථකත්වය නිසාම දැන් එහි දෙවැන්න ‘කුංෆූ පැන්ඩා -2’ පසුගිය මැයි මස 26 දා සිට ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් තිබේ.
ත්‍රිමාන චිත්‍රපටයක් ලෙස එම පහසුකම් සහිත සිනමා ශාලාවලත් අනෙක් සිනමාහල්වල ද්විමාන චිත්‍රපටයක් ලෙසත් ප්‍රදර්ශනය වන ‘කුංෆූ පැන්ඩා - 2’ මේ වන විට ඉතා හොඳ මට්ටමේ විචාරක ප්‍රසාදයක් ලබා තිබේ. බොක්ස් ඔෆිස් වාර්තා අනුව පෙනී යමින් තිබෙන්නේ එම චිත්‍රපටය ඉක්මනින්ම ආදායම් වාර්තා අනුව සැකසෙන ‘ටොප් ටෙන්’ ලැයිස්තුවේ ඉහළම ස්ථානයක් ලබනු ඇති බවයි.
අති දක්ෂ කුංෆූ සටන්කරුවකු වන පෝ ගේ අපේක්ෂාව වනුයේ තමා වෙසෙන නිම්නයේ සාමකාමී බව ආරක්ෂා කරගැනීමයි. ඒ සඳහා ඔහුට තම ස්වාමියා ෂිෆූගේත් කුංෆු සටන් කරුවන් හා කාරියන් වන කොටිදෙනගේ, වඳුරාගේ, පොළඟාගේ හා කොකාගේත් සහාය ලැබෙයි.
මේ අතරතුර ඇලි මොනරකු වන දුෂ්ට ලෝඩ් ෂෙන් උත්සාහ කරන්නේ කුංෆූ සටන් කරුවන් පරාජය කොට සාමකාමී නිම්නය තමා යටතට ගන්නටය. ලෝඩ් ෂෙන් සතුව ඉතා බලගතු අවියක් ඇති අතර එය කුංෆු සටන් කලාවට ද තර්ජනයක් බව පෙනී යයි.
මෙහිදී පෝ නමැති පැන්ඩා කරන්නේ සිය මනස අතීතයට යොමුකොට එම අද්භූත අවිය පරාජය කිරීමට ක්‍රමයක් සොයා ගැනීමයි. ඉන්පසු ඔහු තම සගයන් හා එක්ව නිම්නයේ සාමය වෙනුවෙන් ත්‍රාසජනක සටන්වල නියැළෙමින් අධිරාජ්‍යයකු ලෙස ව්‍යාජව පෙනී සිටින ලෝඩ් ෂෙන් පරාජයට පත් කරයි.
හොලිවුඩයේ ප්‍රකට නළු නිළි පිරිසක් ‘කුංෆූ පැන්ඩා -2’ සඳහා දායකත්වය ලබා දී තිබේ. පෝ නමැති පැන්ඩාට ජැක් බ්ලැක් ද මාස්ටර් ෆිෆූට සම්මානනීය නළු ඔස්ටින් හොෆ්මන් ද හඬ කවා තිබේ. සටන්කාමී කොටි දෙන මාස්ටර් ටයිග්‍රස්ට හඬ කවා ඇත්තේ ජනප්‍රිය නිළි ඇන්ජලිනා ජොලිය. ප්‍රකට සටන් නළු ජැකී චෑන් සටන්කාමී වඳුරාගේ චරිතය සඳහා හඬ කවා තිබේ.
’කුංෆූ පැන්ඩා -2’ ජෙනිෆර් යූ ගේ අධ්‍යක්ෂණයකි. පැරමවුන්ට් පික්චර්ස් බෙදා හැරීමක් වන මෙම සජීවීකරණ චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ ඩ්‍රීම් වර්ක්ස් සජීවීකරණ චිත්‍රාගාරයේය.
පළමු චිත්‍රපටයෙන් විශේෂයෙන් ලොව පුරා ළමයින්ගේ අවධානය දිනූ පෝ නමැති පැන්ඩා ගේ දෙවැනි වික්‍රමය කෙරේද වැඩි අවධානයක් දක්වමින් සිටින්නේ ලොව පුරා ළමයින් බව ද අන්තර්ජාලයේ සඳහන් වෙයි.

1 ඔබගේ අදහස් අපට බොහෝ වටිනවා.කමේන්ට් එකක් දාන්න:

Hasitha Gunasinghe said...

හුඟක් දවස් ඉදන් මේක බලන්න ඕනේ කියල හිතේ තිබුණත් අමතක වුණා. අදවත් මේක ඩවුන්ලෝඩ් කරන්න පටන් ගන්න ඕනේ........

Post a Comment