10/30/2011

ඔප් නැඟූ විසල් මේසයක් මත

ඔප් නැඟූ විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්.

වැඩ ඇරී එන කලට ඔබ සමඟ
සෙනඟින් පිරීගිය දුම්රියක
අවුලාගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට ඇත මට කවියක්.

එසේ වුව සොයුරනි!
ඔබ ගැන මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකුට 
අද දින නොවැටහෙන බව දනිමි.

ලෝකය මීට වඩා යහපත් වන
අනාගතේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව දනිමි..

මහගම සේකර.

0 ඔබගේ අදහස් අපට බොහෝ වටිනවා.කමේන්ට් එකක් දාන්න:

Post a Comment