11/04/2011

බුද්‍ධ ගද්‍යය


සංඥාපනය පුරාතන කිසියම් ඇදුරකු විසින් රචිත බුද්‍ධගද්‍යය මහඟු බුද්‍ධස්‍තොත්‍රයෙකි. මෙය පද්‍යයක් බැවින් මෙයට වියයුතු නම බුද්‍ධ පද්‍යය යනුයි. එහෙත් කලෙක සිට ම “බුද්‍ධ ගද්‍යයැයි” වැහැරවී ඇත. බුද්‍ධගද්‍ය, ධර්‍ම ගද්‍ය, සඞ්‍ඝ ගද්‍ය යන නම් තුනින් පැරැණියන් රැසැයූ තොත් තුනෙක් ම ඇත. මෙය අත්තරගම රාජගුරු බණ්‍ඩාර පඬිතුමන්ගේ කෘතියක් වශයෙන් සමහරු සලකති.

බළන්ගොඩ ආනන්‍දමෛත්‍රෙය ස්‍ථවිර

බුද්‍ධ ගද්‍යය

නමො බුද්‍ධාය
නමස්‍සමන්‍තභද්‍රාය
සර්‍වගොචරචක්‍ෂුෂෙ
කරුණාමෘතකල්‍ලොල
සන්‍ධවෙ සූර්‍ය්‍යබන්‍ධවෙ
2
ජය ජය ධර්‍ම රාජ
ජනකෘත ශර්‍ම පූජ
අසදෘශ බුද්‍ධ ලීල
අතිපරිශුද්‍ධ ශීල
3
ස්‍ඵුටිත ගභස්‍ති ජාල
බහුවිධවිශ්‍ව පාල
ජගති නිරස්‍ත දෝෂ
පශමිත ශස්‍ත වෙෂ
4
රුචිර විමුක්ති භූෂ
මගධ විශිෂ්‍ට භාෂ
දණ්‍ඩිත බහු මාර
ඛණ්‍ඩිත භව භාර
5
මණ්‍ඩිත ශුභ ගාථ
පණ්‍ඩිත ජන නාථ
අඤ්‍චිත පද පාත
සඤ්‍චිත හිත ජාත
6
සාරහරිවර ශයන
තාමරස නිභනයන
ලොකජන සුඛකරන
ලොලසුර නතවරණ
7
කාල ජය චතුර තර
ශීල ධර දිවස කර
බාල ජන කුමති හර
ආලවක දමන කර
8
සුර නර පූජනා යාර්‍ය්‍ය
බුධජන බොධනා වීර්‍ය්‍ය
පරහිත සාධනා කාර්‍ය්‍ය
ත්‍රිභුවන ශාසනා චාර්‍ය්‍ය
9
යඥා දීශ ගුණ ප්‍රණතිඥ
විඥා ධාර වරස්ඵුටවිඥ
ආඥානාරි බල ප්‍රහරඥ
ප්‍රඥා ධාන මහත් ෂඩභිඥ
10
ධිෂණාමය සාර සායක
විපදාකුල හෙතු හායක
අජරාමර භූති දායක
සචරාචර ලොක නායක
11
දානවාරි පද්මා සනස්‍ථ
ධීරපූත චිත්‍රා සනස්‍ථ
වීතමොහ භද්‍රා සනස්‍ථ
බෝධිමූල වජ්‍රා සනස්‍ථ
12
ප්‍රශ්‍රැත මෘදුවාචා චන්‍දන
නිඃශ්‍රැත සුර පූජා වින්‍දන
සුශ්‍රැත ජන මායා නන්‍දන
විශ්‍රැත කුල මායා නන්‍දන
13
ඉෂ්‍ට විනිෂ්‍ඨ සමුජ්‍ඣිත කොප
තුෂ්‍ට වරිෂ්‍ඨ විවර්ජිත තාප
ශිෂ්‍ට විශිෂ්‍ට විනිර්ජිත පාප
අෂ්‍ට චතුෂ්‍ටය ලක්‍ෂණ රූප
14
යොග්‍ය භාවගණනාහෘත සීම
භාග්‍යදාය ජනමොදන රාම
වාක්‍ය ලෙශ පරිශොෂිත කාම
ශාක්‍ය රාජකුල සාගර සොම
15
ප්‍රෙරිත ශාසන නීති විශාල
ධාරිත බෝධි මනොහර මූල
වාරිත මාර වධූජන ලීල
පූරිත පාරමිතා දශ ශීල
16
කාමප්‍රභා තාර රොවිර් දිනෙශ
හෙමප්‍රභා ශොභමාන ප්‍රදෙශ
ශ්‍යාමප්‍රභා පූරණානර්‍ඝ කෙශ
ව්‍යාමප්‍රභා ලොක ලොක ප්‍රකාශ
17
චීර්‍ණාඛිලඥාන යොගාර්ධි චන්‍ද්‍ර
පූර්‍ණාධරච්‍ඡෙදනෙරාර්‍ධ චන්‍ද්‍ර
පර්‍ණාගමඛ්‍යාත ධීරාර්‍ධ චන්‍ද්‍ර
ඌර්‍ණාරුචිච්‍ඡෙද බාලාර්‍ධ චන්‍ද්‍ර
18
කුම්‍භොදයා ධීශ විශ්‍වත්‍ය රාජ
දම්‍භොලි ශාලීශ විස්‍තුත්‍ය රාජ
අමෙභාධිනීකාශ සද්ධර්‍ම රාජ
ශම්‍භොධිවාගීශ සත්කර්‍ම රාජ
19
නිකුඤ්‍චද් භවාදීනවාශෙෂ බුද්‍ධ
සදඤ්‍චද් ගුණාවෙශ ශීලාදි ශුද්‍ධ
විරිඤ්‍චද් ප්‍රභාභෙදශොභා ප්‍රසිද්‍ධ
උදඤ්‍චද් මහාකෙතු මාලානුබද්‍ධ
20
අනුසමය ශුභසාර භූෂණ
අතුලගුණධරවීත රොෂණ
අතිමලින බවරාග රොෂණ
අපරිමිත වර ශීල භූෂණ
21
ප්‍රසූත ප්‍රහිත ප්‍රසව ප්‍රවල
ප්‍රථිත ප්‍රගුණ ප්‍රමද ප්‍රඵල
ප්‍රණත ප්‍රචුර ප්‍රභව ප්‍රදල
ප්‍රතත ප්‍රණය ප්‍රතිම ප්‍රබල
22
නිස්‍තාරි විඛ්‍යාත විශ්‍වජන ශරණ
අස්‍නාරි සද්‍ධීර වෘන්‍ද ශිව කරණ
ශස්‍තාරි සත්‍ත්‍යාග සිද්‍ධකර වරණ
විස්‍තාරි ෂඩ්භෙද වර්‍ණ වර කිරණ
23
ව්‍යක්‍තිකර වින්‍යාස සාධුජන සඞ්‍ග
භක්‍තිහර සම්‍මානනාදි මධු භෘඞ්‍ග
භක්‍තිධර සංසාර භෙද රණ රඞ්‍ග
මුක්‍තිපුර කල්‍යාණ මොද මුනි තුඞ්‍ග
24
සරසිජ නිඃශ්‍රැත විරචිත තන්‍ත්‍ර
සිපදි තිරස්කෘත භව භය යන්‍ත්‍ර
බුධජන ශික්‍ෂිත බහුවිධ තන්‍ත්‍ර
ත්‍රිභුවන විශ්‍රැත නවගුණ මන්‍ත්‍ර
25
බහුලොල කථනීය රාවාධි රාව
ගුණ ශීල කරණීය සෙවාධි සෙව
අවිපාක රමණීය භාවාධි භාව
ජගදෙක මහනීය දෙවාධි දෙව
26
තපන ශශි ශිඛි මහස්‍සත්‍යාවබොධන
අනය කුල මය තපස්‍සත්‍යාවබොධන
අපිරිමිත ගුණ වචස්‍සත්‍යාවසාධන
සකල ජනහිත චතුස්‍සත්‍යාවබොධන
27
අගතිලක තලනර්‍ම චක්‍රප්‍රවර්ධන
සුගතිකර බහුකර්‍ම චක්‍රප්‍රවර්ධන
කුගතිමය භවකර්‍ම චක්‍රප්‍රමර්‍දන
ජගතිකෘත වරධර්‍ම චක්‍රප්‍රවර්‍තන
28
සිද්‍ධාගම සද්‍භාවන විඥාපිත පාක
බුද්‍ධාගම විඛ්‍යාපන විඥාපිත නාක
ශුද්‍ධාගම විස්ඵාරණ විධ්‍මාපිත ශොක
ඍද්‍ධාගම විස්‍තාරණ විස්‍මාපිත ලොක
29
මෘත්‍ස මෘන්‍මයාන්නපාත්‍ර ලබ්ධ දේවතාඤ්‍චන
වත්‍සලත්‍ව ධාමගාත්‍ර ලුප්ත ශොභකාඤ්‍චන
උත්‍ස බෘන්‍ද ගීත මඤ්‍ජු චිත්‍රජාතිවාඤ්‍ජන
සත්‍සමන්‍තකූට ශෘඞ්‍ග දත්‍තපාදලාඤ්‍ඡන
30
ප්‍රථිත චරිත සඞ්‍ගගීති වීතකදන
අමිත විමල ධර්‍මශීල නීතිසදන
බහල ධවල පුඤ්‍ජහාරි චාරුරදන
ශිශිර කිරණ මණ්‍ඩලාභිරාම වදන
31
ජාතදිවසීය මහ මොදිත පිතා මහ
වීතමල ලොක හිත පූතකුසලා වහ
බාහුබල ඝොර රණ මාරබල වීරහ
රාහුනය නාවිෂය පාදසර සීරුහ
32
ප්‍රෙම පූගසීම භූරිසොම සාර වාචන
හීම භාවහාම රාග නාම රූප සූදන
වාම දෙවනාම නාථභාම පාද රොධන
හෙම රාශිධාම චාරුනාම රූප ශොභන
33
වාද බද්‍ධ විස්‍ඵුරත් කුදෘෂ්‍ටි දෘෂ්‍ටි සඤ්‍චය
භෙද චිත්‍ත සම්‍භව ප්‍රපඤ්‍ච පත්‍ති සඤ්‍චය
පාදපද්‍ම සඤ්‍චරත් ප්‍රඵුල්‍ල පද්‍ම සඤ්‍චය
වේද සිද්‍ධ ‍ශෙමුෂි ප්‍රභඞ්‍ග වෙද සඤ්‍චය
34
අඛිල ලොක පූජිත ප්‍රහිත සර්‍ව ශොචන
සකල තාප වෙදන ප්‍රභව සඞ්‍ග මොචන
මධුර සාර ශීතල ප්‍රභව භව්‍ය වාචන
නිරවශෙෂ ගොචර ප්‍රතත බුද්‍ධි ලොචන
35
කිරණනිවහ ප්‍රමණ්‍ඩිත විතත පුෂ්‍කර
කලුෂහරණ ස්ඵුරන්නව ලලිත පුෂ්‍කර
ගමන සමය ස්‍වයන්නව දලිත පුෂ්‍කර
සකල භුවන ප්‍රියඞ්‍කර වරණ පුෂ්‍කර
36
නිත්‍ය පෙශල නිත්‍ය දක්‍ෂිණ නිත්‍ය භාව තථාගත
නිත්‍ය භාසුර නිත්‍ය දෙශිත නිත්‍ය භාව තථාගත
නිත්‍ය විස්‍මය නිත්‍ය වත්‍සල නිත්‍ය මොද තථාගත
නිත්‍ය මඞ්‍ගල නිත්‍ය සුන්‍දර නිත්‍ය පූජ්‍ය තථාගත
37
ත්‍රිවිධ ශුභ චලනචර ජලජනිභ යුගල
විනය මය විවිධමනු ශමිතදුරි තගල
මුථිත බහු විෂය භර හරිත භව නිගල
ප්‍රණත සුර මුකුට මණි ඝටිත පද යුගල
38
හෙලා විරචිත දෝලාසිතජන මූලාගමවිධි දීපනාවාට
හාලා හල නිභ ශාලාභවසුඛ ලීලාවිදලන ශාසනඣාට
බාලා නය මති ජාලාදරහර ශීලා යුධ ධර වාරිදකූට
කෝ‍ලා හල කර නාලාගිරිගජ කාලාකෘතිමද වෙගවිඝාට
39
වන මුදිත විස්‍පෂ්‍ට මධුරතර නාද
ජන හෘදය මද්‍ධ්‍යස්‍ථ කමල මෘදු පාද
විනය බල විච්‍ඡින්න දුරිත කුල භෙද
අනවරත සද්‍ධර්‍ම විතරණ විනොද
40
අරුණ පදතල සකල විෂයක විමල දශවිධ මතිබල
කරුණ ජල නිධි ලහරි පරිකර සතත කුශලිත මහිතල
විශද දිනමණි කිරණ විකශිත කමල මෘදුතල කරතල
දශදිගු පගත සුරභිකුලවර වදන විකශිත පරිමල
41
අනඝමති මනොඥං ධර්‍මරාජස්‍ය ගද්‍යං
ලිඛති පඨති යොවා සාදරං යඃ ශ්‍රැණොති
ත්‍රිභුවන භවනාන්‍තං ප්‍රාප්‍ය භොගානශෙෂා
තනුභවති ස නිත්‍යං ශාන්‍ත නිර්‍වාණ සෞඛ්‍යම්
බුද්‍ධගද්‍යය නිමි.

11/03/2011

මඟුල් ලකුණ


සංඥාපනය කුඩා දරුවනට අකුරු කියවන පාඩම් පොත් පෙළේ දෙවැන්න නම් පොත ය. හෝඩිය කියැවූ පසු අකුරු කිහිපයක් එක් කොට තැනූ වචන කියැවීම හුරු කරනු පිණි මෙය පැරැණි පන්සල් පාසල් හි භාවිත විය. මෙය මුලදී රචිතව ඇත්තේ සති පිරිත් අවසනැ ආටානාටිය දේශනාවට මුලින් කියන විහාර අස්න වශයෙනි. මෙය හවන පැරකුම්බා රජ දවස රචිත වූවෙකැයි සලකති. ඒ අතර ම ලක්දිව එවකට පැවැති ප්‍රධාන විහාරස්‍ථාන නාම මාලාව බෞද්‍ධයකු විසින් දතයුතු බැවින් ද මෙහි එන පරිදි යොදා ඇති වචන කියැවීම පහසු බැවින් ද හෝඩිය ළඟට ම මෙය කියවන ‍දෙවෙනි පොත වශයෙන් භාවිත වූ බව පෙනේ. ඊළඟ තුන්වැනි පාඩම් පොතට ඇත්තේ මඟුල් ලකුණ ය. බුදුරජුන්ගේ අත්පාහි පිහිටි රේඛා පිරික්සන්නවුනට මතුවී පෙණුනු ලකුණු එයින් දැක්විණ. කර්‍තෘ සඳහන් නැතත් මේ දෙපොත් ම නරෙන්‍ද්‍රසිංහ රාජ සමයට අයත් යැ යි සිතිය හැකිය.

බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය ස්‍ථවිර

මඟුල් ලකුණ

ස්‍වස්‍තික දෙකය
සිරිවස දෙකය
නදවට දෙකය
සෝවැති දෙකය
අවතංස දෙකය
වර්‍ධමාන දෙකය
භද්‍රපීඨ දෙකය
ප්‍රාසාද දෙකය
තෝරණ දෙකය
ශ්‍වේතඡත්‍ර දෙකය
ඛඩ්ග දෙකය
තාලවෘන්‍ත දෙකය
මයුරහස්‍ත දෙකය
චාමර දෙකය
උෂ්‍ණීෂ දෙකය
මණි දෙකය
සුමනදාම දෙකය
නීලෝත්පල දෙකය
රක්‍තෝත්පල දෙකය
රක්‍තපද්‍ම දෙකය
ශ්‍වේතෝත්පල දෙකය
ශ්වේතපද්‍ම දෙකය
පුන්කළස් දෙකය
පූර්‍ණ පාත්‍ර දෙකය
සමුද්‍ර දෙකය
චක්‍රවාට පර්‍වත දෙකය
හිමවත් පර්‍වත දෙකය
මහාමේරු පර්‍වත දෙකය
සූර්‍ය්‍යමණ්‍ඩල දෙකය
චන්‍ද්‍රමණ්‍ඩල දෙකය
සපරිවාර සතර මහා ද්‍වීප දෙකය
සපරිවාර සප්ත රත්න දෙකය
චක්‍රවර්ති රාජයෝ දෙ දෙනාය
දක්‍ෂිණාවෘත්‍ත ශ්වේතශංඛ දෙකය
සවර්‍ණ මත්‍ස්‍යයුගල දෙකය
චක්‍රායුධ දෙ කය
සප්ත මහා ගංගා දෙකය
සප්ත මහා සීදන්‍තසාගර දෙකය
සප්ත මහා ශෛල දෙකය
සප්ත මහා තටාක දෙකය
සුපර්‍ණ රාජයෝ දෙ දෙනාය
සුංසුමාර රාජයෝ දෙ දෙනාය
ධ්‍වජ දෙකය
පතාකා දෙකය
සවර්‍ණ පර්‍වත දෙකය
සවර්‍ණ වාල විජනි දෙකය
කෛලාශ පර්‍වත දෙකය
සිංහරාජයෝ දෙ දෙනාය
ව්‍යාඝ්‍රරාජයෝ දෙ දෙනාය
වලාහක අශ්‍වරාජයෝ දෙ දෙනාය
උපෝසථ හස්‍ති රාජයෝ දෙ දෙනාය
වාසුකී නාගරජයෝ දෙ දෙනාය
හංස රාජයෝ දෙ දෙනාය
වෘෂභ රාජයෝ දෙ දෙනාය
ඓරාවන හස්‍ති රාජයෝ දෙ දෙනාය
ස්‍වර්‍ණ මකර රාජයෝ දෙ දෙනාය
චතුර්‍මුඛ ස්‍වර්‍ණ නෞකා දෙකය
වත්‍සක ධෙනුහු දෙ දෙනාය
කිම්පුරුෂයෝ දෙ දෙනාය
කින්නරාඞ්‍ගනාවෝ දෙ දෙනාය
කුරවීක රාජයෝ දෙ දෙනාය
මයුර රාජයෝ දෙ දෙනාය
ක්‍රෞංච රාජයෝ දෙ දෙනාය
චක්‍රවාක රාජයෝ දෙ දෙනාය
ජීවං ජීවක රාජයෝ දෙ දෙනාය
ෂඩ්‍විධ දිව්‍යලෝක දෙකය
ෂෝඩෂවිධ බ්‍රහ්මලෝක දෙකය
යනාදි දෙසිය සොළසක් මඞ්‍ගල ලක්‍ෂණයෝ බුදුරජුන්ගේ ශ්‍රීපාදතලයෙහි පිහිටා ඇත්හ.
මඟුල් ලකුණ නිමි.

11/01/2011

වදන් කවි පොත



සංඥාපනය

මෙහ මහඟු රචනාවෙකි. 1 – 5 කවිවලින් තෙරුවන් නැමැදුම ද, 12 දක්වා සෝඩියේ අකුරු හැඳින්වීම ද, 28 වැන්න දක්වා අක්‍ෂර විභාගය ද එතැන් සිට 36 දක්වා ඉගැනීමේ අගය හා සිසුනට අවවාද ශාස්‍ත්‍ර දායක ගණදෙව් වත හා ඔහු සොහොයුරු කඳකුමරු තෙදබල ආදිය ද සඳහන් වේ. මෙහි කර්‍තෘ කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1742-1777) දවසැ වුසූ අත්තරගම බණ්‍ඩාර රාජගුරු පඬිතුමා යැ යි කියත්.
බළන්ගොඩ ආනන්‍දමෛත්‍රෙය ස්ථවිර

තෙරුවන් නැමැදුම

පළමුව බුදුන් වැඳ
දෙවනුව දෙසු දහම් වැඳ
මහ සඟරුවන් වැඳ
පටන් ගනිමුව ගණදෙවිඳු වැඳ
ගණපති සුරන් වැඳ
ගුරුවර පහත් බැස වැඳ
දෙගුරුන් නැමී වැඳ
ඉඳුව වන පොත් දී පොතට වැඳ
බුත් සරණා වදනින්
දම් සරණා වදනින්
සඟ සරණා වදනින්
මෙතුන් සරණා වදනින්
සම්මා සම්බුත් සරණා වදනින්
නව ලොවුතුරු දම් සරණා වදනින්
පිවිතුරු සවු සඟ සරණා වදනින්
පැවතුම් මේ තුන් සරණා වදනින්‍
උතුමා නිති බුත් සරණා වදනින්
පවරා සදහම් සරණා වදනින්
සෙතදා මහ සඟ සරණා වදනින්
උවදුරු හර තුන් සරණා වදනින්

සෝඩියේ අකුරු හැඳින්වීම

අගරජ සුරරජ මුනිරජ වදනින්
මුතුහර හෙළදම් දම්රජ වදනින්
උරදා නේ නය මුනිසුත වදනින්
සිළුමිණි සිතුමිණි තිසරණ වදනින්
ස්‍වස්ති විභූෂණ කමලා වදනින්
සිද්ධමලංකෘත විමලා වදනින්
අතුලිත මුනිවර චරණා වදනින්
ආභා භාසුර කිරණා වදනින්
ඉහකුල පූජිත චරණා වදනින්
ඊශ නිශාකර බරණා වදනින්
උමා වධූපති මහිමා වදනින්
ඌරු මනෝහර ජඞ්ඝා වදනින්
සෘණජ නයනා මෘතයා වදනින්
සෲ කල්පායන කිරණා වදනින්
ඏකුල සන්තති භුවනා වදනින්
ඐ මහීපති මහිමා වදනින්
එක බාහුබල ජිතයා වදනින්

ඓරාවන පූජිතයා වදනින්

ඔෂ්ට්‍ර මනොහර ජඞ්ඝා වදනින්

ඖපගවස්වී කෘතයා වදනින්
ආංම්‍රෙඩිත විධි කුසලා වදනින්
අඃ කී අක්‍ෂර ෂොඩශ වදනින්
සිද්ධම් වේවා ගණපති වදනින්
අස්තු නමො ජන තිලකා වදනින්
කඛගඝඞා චඡජඣඤා වදනින්
ටඨඩඪණා තථදධනා වදනින්
පඵබභමා යරලව ශෂ වදනින්
සහළා අං ඉති සිද්ධිරස්තු වදනින්

අක්‍ෂර විභාගය

අවන පටන් අඃ වන්නට වදනින්
දැනෙන සොළස පෙර සොරකුරු වදනින්
කයන එපස් වග යානව වදනින්
මෙවන සුතිස් දනු හසකුරු වදනින්
*
එක්සොර පස්වග යරලව සතරා
ශෂ සහ එකකුරු ළයනෙක අකුරා
සුරුවත් සමහරු නොදනිති ඉඳුරා
සෝඩියෙ බරකුරු දැනගන් සපුරා
*
කණ්ඨජ සත අහ කවගය වදනින්
තාලුජ සත ඉය චවගය වදනින්
මුර්ධජ සත රළ ටවගය වදනින්
දන්තජ සත ලස තවගය වදනින්
*
ඔෂ්ඨජ සය ඌ පවගය වදනින්
තාලුජ කණ්ඨජ ඒකුරු වදනින්
කණ්ඨජ ඔෂ්ඨජ ඕකුරු වදනින්
දන්තජ ඔෂ්ඨජ වෝකුරු වදනින්
*
මුදුනය දසනය උපදින කුරටා
යෙදු තාලුජය ද සෙසුකුරු වලටා
ලදු අග මැද දිව දුනු තැන් ලෙසටා
හඳුනව කරණය කී ලෙස කුරටා
*
මේ ලෙස කුරු උපදින තැන් දනුවා
ආ ලෙස අකුරට කරණය දනුවා
වූ ලෙස ඒකජ ද්විජකුරු දනුවා
කී ලෙස ගරුකය ලහුකය දනුවා
*
එක්වූ අකුරට පෙරකුරු නිතිනා
වක්වූ ගුරු දිගු බව යයි දැනෙනා
දික්වූ නොම වණ සිටි එක මතිනා
දැක්වූ පෙර ඉසි ලුහු යයි දැනෙනා
*
එකමත ලුහු යැයි දැනකි යමින්නේ
යුගමත දිගු යැයි ගුරු පවසන්නේ
වෙනමත තුනෙකින් පුලුත කියන්නේ
අඩමත දැනගන් හසකුරයන්නේ
*
අවණය ආදී ඒකජ අකුරු
එවණය ඈ දනු ද්විජ නම් අකුරු
දෙවන කවග සහ ලහුකය අකුරු
එයිනැර සෙසුකුරු ගරුකය අකුරු
*
ගනිමින් පස්වග පළමු දෙවන කුර
සමගින් සවණ ද අගොසය කිවු පෙර
ළයනන් තව සෙසු කුරු නම් ගොසකුර
දැනගන් මේ ලෙස සෝඩියෙ දෙයකුර
*
ගොසකුරු නොම ගොසකුරු යන දෙවගෙකි
තොස වන දනිතය සිතිලය දෙවගෙකි
නිසසය නිසිතය යන කුරු දෙවගෙකි
බස පෙර ඇත සෝඩියෙ කරු දෙවගෙකි
*
පස්වග යුගසිවු දනිතය දන්නේ
එමවග වල එක තුන පවසන්නේ
නොවළඟ සිතිලය දැන කියමින්නේ
මෙමවග කුරු පෙළ තෝරා දෙන්නේ
*
සිතරා එක්කට යාදී නවකුරු
නොහැරා දනු එක් පාදී පසකුරු
විතරා සොර එක් එක් සුන් දෙයකුරු
සපුරා දැනගන් සෝඩියේ සිවුකුරු
*
පණසෙක සොර සහ හස දෙවගින්නේ
එහි එක එක හසකුර සදමින්නේ
සොළසෙක සොර ලූ කල ගණනින්නේ
නොව සැක පන්සිය සැටකුරු දන්නේ
*
සෝඩියෙ සූතිස් පිල්ලම කාදී
ලූ කල සොරයන් සොළසද ආදී
ගණනින් පන්සිය සැටෙකින් සුසැදී
අකුරෙන් සතළිස් සතරක් බේදී
*
පෙර හස පරසොර සද නොව වෙනසක්
කර වියරණ විදි දැන ඇති විලසක්
කුරු හස එකකට වැඩිවිය සොළසක්
තිර කුරු මඟ දැනුමට වැනි දිවැසක්

ඉගැනීමේ අගය, ගණදෙව් වත, කඳකුමරු තෙදබල

ගණදෙවි කෝවිල පිරිබඩ ලන්නේ
දත මැද පිරුවට ඇඳ පේවෙන්නේ
කළ කී දේ මට සාදා දෙන්නේ
පින් ඇති ගණදෙවි නුවණක් දෙන්නේ
*
කිරි දී වෙඬරුද පස්ගෝ රසිනා
උඳු මුං තල මෑ කරලින් සොබනා
මේ නන් කැවුමෙන් නිති පුද ලබනා
දෙන් මට නුවණක් ගණපති යෙහෙනා
*
අඹ දඹ ඇටඹ ද කරඹ ද පුදමී
හොලුපලු ලාලු ද ගිවුලු ද පුදමී
අතිරස අග්ගල අත්සුණු පුදමී
ගණදෙවි නුවණක් දෙනු පා වඳිමී
*
පුදා විලඳ අතිරස කිරිබත් සකුරු
සදා මල් බුලත් පුවකුත් ලා කපුරු
විදා වතක් සොඳ අඳවා ගුරු ඇදුරු
මෙදා කළෝතින් වැඩවේ සව් ඉසුරු
*
පුදමි මම් ඔබට පස් පඬුරෙන්ම සරා
අඹ දඹ කෙසෙල් පලවැලයෙන්ම තුටු පුරා
ගොම පිරිබඩ මල් පහනින් ම සිත් පුරා
දෙවන් මට නුවණ ගණදෙවිඳු පින් පුරා
*
වැඳලා දෙවියන් පොත අරගන්නේ
යැදලා ගුරුනුත් සිත නො තලන්නේ
සකලා සිල්පය මට සෑදෙන්නේ
දැකලා ගණදෙවි නුවණක් දෙන්නේ
*
සොඳින් බැබලි ගජ මූණෙකි පත්මේ
තෙදින් විදුරු විත්නා නුවණැත්මේ
යෙහෙන් නැගුණු මීවාහන යුත්මේ
වඳම් එ ගණදෙවි සිරිපද පත්මේ
*
සුදු දළ ගජ සොඬ මූණෙකි පත්මේ
සුදු මීයකු නැගෙමින් වැඩ ගත්මේ
සොඳ උමයංගන ඉසුරුගෙ පුත්මේ
වඳිමුව ගණදෙවි සිරිපද පත්මේ
*
අකුළා ගෙන සොඬ ගජතකු වැන්නේ
නෙරවා කන් පොතු සුළු කුළු වැන්නේ
සියොලඟ ගෝමර මල්පෙති වැන්නේ
පින් ඇති ගණදෙවි නුවණක් දෙන්නේ
*
අඹ ගෙඩියක් උදෙසා තම චිත්තේ
ලොබ කොට දිව ගොස් දළ බිඳ ගත්තේ
ඔබටම මම දැන් ගැතිවෙමි නිත්තේ
සුබ නුවණක් කිම දෙනවා නැත්තේ
*
නුවණ මෙමට දෙන සොඳ උමයංගා
සිවුසැට බරණින් සැදි සිව ලිංගා
පුදමින් අත්සුණු ගෙන ආලංගා
දෙන් මට ගණදෙවි නුවණ නොසංගා
*
පුරුදු කරනා සතනම පුරුදූ
පසිඳු නුවණක් ලබනට එබඳූ
ගිරිදු ඉසුරට දාකර එවැදූ
ගණිඳු සිරිපද නමදිම් පසිඳූ
*
රන්වන් අංකුස සුරතින් ගත් නිති
බුන්දත් සිවු අත් ගජ මූණක් ඇති
තුන්නෙත් නන්දන කරවන විකුමැති
දෙන් දැන් නුවණක් ගණපති පින් ඇති
*
මන් මද ගජකුඹු වත ඇත දික් කළ
පුන් සඳ මෙන් සිරි උදුල උපන් කල
කන් තළ මිණි රැස් ගණපති පින් බල
දෙන් මට නුවණක් සමුදුර මෙන් රළ
*
මූෂක වාහන මොදක හස්තම්
චාමර කර්‍ණ විලම්බිත සූත්‍රම්
වාමන රූප මහෙශ්වර පුත්‍රම්
විඝ්න විනායක පාද නමස්ත්‍වම්
*
අවනත සුරගණ විඝටිත චරණම්
ඝටතට විගලිත මදජල මුදිතම්
විකසිත කරරුහ කරතල කමලම්
ප්‍රණමිත ශිවසුත ගණපති මභයම්
*
කුංකුම වර්‍ණ චතුර්භුජ යුක්තම්
නාග මුඛම් මකුටංකිත ශුණ්ඩම්
අංකුශ පාශක හස්ත සුපාදම්
වහ්නිදෘශං ගණනාථ සුරූපම්
*
සූරිය කුල ඇති හිරු දෙවියන්නේ
පෑවිය අණසක ලොව පවතින්නේ
කාරිය සිතුවා සාදා දෙන්නේ
සූරිය දෙවියනි මා රැක දෙන්නේ
*
බබළා උදය ගිරි මුදුනෙන් වඩින්නේ
නොවළා අඳුරු බිඳ ලොව එළි කරන්නේ
දැකලා සියලු රෝ දුක් දුරු කරන්නේ
මෙකලා සොඳින් හිරුදෙවි මා රකින්නේ
*
සීතා පතිරජු මෙන් ගුණ උත්තම
බීතා ජනයන් දුරකර සත්තම
ඈතා පිරිපත හරිමින් නිත්තම
නාතා සාමිනි රකු මා නිත්තම
*
මෙන්දිඩ ගිරි රද පිරිසිරි ලත්තම
තුන්තුඩ තුති යස ගොස කළ නිත්තම
මන්මැඩ මරු මතු බුදුවන උත්තම
සෙංකඩ ගල සුරිඳුන් වඳු නිත්තම
*
ලොවසෙත් කරවන පත්තිනි සඳිනේ
සලඹත් අරගෙන සළු සලවමිනේ
වෙනසිත් නොසිතා මගෙ ගුරුවරුවනේ
නුවණත් ආසිරි දී මා රකිනේ
*
මන් ලෙස නමදිම් සරණත කර පෙම
නන්යුරු රෝදුක් පිරිපත දුර දම
දැන් මෙ වදන් කවි කියමි බොලඳ මම
දෙන් මට නුවණක් සුරිඳු කතරගම
*
මුහුදු අසල බඩ සුපිහිටි එනුවරෙකී
ඉස බැඳි ඔටුන්නෙන් සැදුණේ රජ රුවෙකී
දෙපා පියුම් පෙති සුරත ද රනෙන් වැකී
ඇඳින ගොසින් වඳු දෙව්රජ මේ ලෙසකී
*
තැඹිලි තඹුනෙල් නවසි බෝදිලි තල් කිතුල් ඉඳි කැන් මනා
ලේනතැරි දෝතලු පුවක් වලු කදලි සුවඳෙල් සමගිනා
ලබු පුසුල් නාරං දොඩම් අඹ රසැති වැල වරකා ගෙනා
තෙදැති ගණපති නුවණ දෙන් මට පුදමි මේ හැම සිතුමෙනා
*
තානු තරුණ අරුණ කිරණ බරණින් සැදි තේජනේ
බානු අසුර අසුරන් යුද ඔදවැඩි ගිරි රාජනේ
මූණු සයෙකි අත් දොළසෙකි මයුරා පිට වාහනේ
රූණු රටේ පිහිටි කන්ද කදිර දේව රාජනේ
*
බලවර්දන තුඟු පාබල සිරිනුත් ගිරි රාජනේ
නැගිදුර්ජන අසුරන් දප බිඳහැරි සිහ රාජනේ
තොසවර්දන මූණු සයෙකි නැගි සිකිනිඳු වාහනේ
ජයවර්දන නුවර පිහිටි කදිර දේව රාජනේ
*
සිද්ද රන්දුනු තදව ගනිමින් එරන් හීයක් අරගෙනා
සද්ද වූ ලෙස ගොසය කරවා මඟුල් පෙරහැරයෙන් යනා
යුද්ද වන් තද රොසින් දස හිස් රාවනා බිඳ ජයගෙනා
ඇද්ද තව මට වෙනින් පිහිටෙක් කතරගම සුරිඳුන් විනා
*
කතරගම පුර පවර යස තෙද විහිදුවන දිවයුරාණන්
සකල සිරිලක දෙව් නරන් හට පැවත එන සොමි සඳාණන්
පඳුරුලන කෙතැ ගොයම් විලසට නුවණ මට දෙන රජාණන්
රුදුරු රිපඳුරු පදට ගුරු මට කතරගම දෙව් රජාණන්
*
කදිරනේ නෙක බරණිනේ නිති සැරසුණේ පිරි තෙදණිනේ
කළරනේ මිණි දුනු ගෙනේ අත පොළමිනේ විදුලිය මෙනේ
විදිරනේ සැර එකතිනේ සැඩ අසුරනේ දප මඩිමිනේ
කදිරනේ දෙවි උතුමනේ සව්සිරි දෙනේ රකු මා දැනේ
*
කතරනේ රුව බබළමින් සිටි සූසැට බරණින් සිරිසරා
අතරනේ දුහු රැගෙන නිතියෙන් මයුරා වාහනයට අරා
කොත රනේ රන් මාලිගාවට වැඩම කරවා විසිතුරා
කතරනේ දෙවි උතුමනේ මට නුවණ ගෙනදෙන් පින්පුරා
*
රූණු රට කදිරාපුරාදිප මූණුසය ඇති දෙවි රජාණනි
ආනුබාවෙන් මෙමට නෙ සතර සිද්ද කර දෙන සමුදුරාණනි
බානු තෙදපල සව්සතුන් හට එළිය කර දෙන සොමි සඳාණනි
දී නුවණ සිරි දිනෙන් දින රකු කතරගම පුර දෙවි රජාණනි
*
සයුර මෙන් රළ නෙපුද පෙරහර ඉසුරුවන විමනේ සුරන්
පතුරවන තද තෙදින් අදිපති මෙසිරිලක හිමි දෙවි නරන්
නිතර සෙත්කොට බලා දිවැසින් නොයෙක් රෝදුක් දුරු කරන්
පතර යසසිරි නුවණ දෙන් මට කදිර සුරිඳුනි සුර වරන්
*
ඈත කප් කෙළ ගණන් බුදුබව පතා විවරණ ලදින් සහතුට
වීත රාගත් රිද්දි නුවණත් ආයුවර්ධන කරන හැමවිට
පාත තොටගමු විහාරේ වැඩ සිටින දෙවියනි දහම් සිහිකොට
දෝත මුදුනේ තබා වඳිනෙමි නාත දෙව්රජ නුවණ දෙන් මට
*
සිද්ද කිහිරැළි සමන් බොක්සැල් විභීෂණ සිවුවරම් රජපති
සිද්ද මහබඹ සක්ද ඉසිවර කතරගම දෙවියනුත් සිතරුති
සිද්ද පත්තිනි දොළහ දෙවියෝ භද්‍රකාලී දේවි ගණපති
සිද්ද සිරිලක මෙහැම දෙවියෝ මෙමට ආසිරි දිගා දෙන් නිති
*
දලුත් දිමුතු රිවි මෙන් තද තෙද පරසිදු සක්වල වට
මලුත් පහන් සමග පඬුරු පුද ලැබ වැජඹෙන සහතුට
නිලුත් රතිනි සුදින් දිලෙන රන්කොත් කැලුමෙන් හැමවිට
අළුත් නුවර පුල්වන් දෙවි රජුනි නුවණ දෙවන් මෙමට
*
තුන්තරා වැඩි මුනිඳු ගඟපැන් සනහමින් වැඩි කැළණියේ
ගංතෙරා සළ වීදි දෙපසේ පිළිම ගෙවලින් ගිගිණියේ
ඉන් පුරා ලූ දාතු දාකුස දාගැබින් සිරි පැමිණියේ
පින්පුරා ඔබ වෙහෙර වැන්දෙමි නුවණ දෙන් දෙවි කැළණියේ
*
සතත හරි හර විතන මුනි යුධ මෙඛලා ගිරි ශොභනම්
සවත ශිව ශිව රූප නිර්මල වහ්නිසඤ්චය සන්නිභම්
උභය රවි කුල මේරූ සිංහල ධාර නිර්මිත ධාරණම්
ධරති ධර ධර භවති භව භව නාරසිහ රජ නාරණම්
නිමි.

පෝ නමැති පැන්ඩා ලෝඩ් ෂෙන්ට එරෙහිව කුංෆු පැන්ඩා -2



කුංෆූ සටන් කලාව සහිත චිත්‍රපටවලට ලැබුණේ ඉමහත් ජනප්‍රියත්වයකි. එනිසාමදෝ එම සටන් කලාවට මූලිකත්වය දෙමින් නිමැවුණ සජීවීකරණ සිනමා පටයක් 2008 වසරේ ජූනි 6 දා සිට ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් ලබමින් ප්‍රදර්ශනය වූයේය. ‘කුංෆූ පැන්ඩා’ යන නමින් හැඳීන් වූ එම චිත්‍රපටය ලැබූ ජනප්‍රියත්වය හා ආදායම් අතින් ලැබූ සාර්ථකත්වය නිසාම දැන් එහි දෙවැන්න ‘කුංෆූ පැන්ඩා -2’ පසුගිය මැයි මස 26 දා සිට ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් තිබේ.
ත්‍රිමාන චිත්‍රපටයක් ලෙස එම පහසුකම් සහිත සිනමා ශාලාවලත් අනෙක් සිනමාහල්වල ද්විමාන චිත්‍රපටයක් ලෙසත් ප්‍රදර්ශනය වන ‘කුංෆූ පැන්ඩා - 2’ මේ වන විට ඉතා හොඳ මට්ටමේ විචාරක ප්‍රසාදයක් ලබා තිබේ. බොක්ස් ඔෆිස් වාර්තා අනුව පෙනී යමින් තිබෙන්නේ එම චිත්‍රපටය ඉක්මනින්ම ආදායම් වාර්තා අනුව සැකසෙන ‘ටොප් ටෙන්’ ලැයිස්තුවේ ඉහළම ස්ථානයක් ලබනු ඇති බවයි.
අති දක්ෂ කුංෆූ සටන්කරුවකු වන පෝ ගේ අපේක්ෂාව වනුයේ තමා වෙසෙන නිම්නයේ සාමකාමී බව ආරක්ෂා කරගැනීමයි. ඒ සඳහා ඔහුට තම ස්වාමියා ෂිෆූගේත් කුංෆු සටන් කරුවන් හා කාරියන් වන කොටිදෙනගේ, වඳුරාගේ, පොළඟාගේ හා කොකාගේත් සහාය ලැබෙයි.
මේ අතරතුර ඇලි මොනරකු වන දුෂ්ට ලෝඩ් ෂෙන් උත්සාහ කරන්නේ කුංෆූ සටන් කරුවන් පරාජය කොට සාමකාමී නිම්නය තමා යටතට ගන්නටය. ලෝඩ් ෂෙන් සතුව ඉතා බලගතු අවියක් ඇති අතර එය කුංෆු සටන් කලාවට ද තර්ජනයක් බව පෙනී යයි.
මෙහිදී පෝ නමැති පැන්ඩා කරන්නේ සිය මනස අතීතයට යොමුකොට එම අද්භූත අවිය පරාජය කිරීමට ක්‍රමයක් සොයා ගැනීමයි. ඉන්පසු ඔහු තම සගයන් හා එක්ව නිම්නයේ සාමය වෙනුවෙන් ත්‍රාසජනක සටන්වල නියැළෙමින් අධිරාජ්‍යයකු ලෙස ව්‍යාජව පෙනී සිටින ලෝඩ් ෂෙන් පරාජයට පත් කරයි.
හොලිවුඩයේ ප්‍රකට නළු නිළි පිරිසක් ‘කුංෆූ පැන්ඩා -2’ සඳහා දායකත්වය ලබා දී තිබේ. පෝ නමැති පැන්ඩාට ජැක් බ්ලැක් ද මාස්ටර් ෆිෆූට සම්මානනීය නළු ඔස්ටින් හොෆ්මන් ද හඬ කවා තිබේ. සටන්කාමී කොටි දෙන මාස්ටර් ටයිග්‍රස්ට හඬ කවා ඇත්තේ ජනප්‍රිය නිළි ඇන්ජලිනා ජොලිය. ප්‍රකට සටන් නළු ජැකී චෑන් සටන්කාමී වඳුරාගේ චරිතය සඳහා හඬ කවා තිබේ.
’කුංෆූ පැන්ඩා -2’ ජෙනිෆර් යූ ගේ අධ්‍යක්ෂණයකි. පැරමවුන්ට් පික්චර්ස් බෙදා හැරීමක් වන මෙම සජීවීකරණ චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ ඩ්‍රීම් වර්ක්ස් සජීවීකරණ චිත්‍රාගාරයේය.
පළමු චිත්‍රපටයෙන් විශේෂයෙන් ලොව පුරා ළමයින්ගේ අවධානය දිනූ පෝ නමැති පැන්ඩා ගේ දෙවැනි වික්‍රමය කෙරේද වැඩි අවධානයක් දක්වමින් සිටින්නේ ලොව පුරා ළමයින් බව ද අන්තර්ජාලයේ සඳහන් වෙයි.

සකස්කඩ



සංඥාපනය
‘සකස්කඩ’ යනු සංස්කෘත පද බහුල මිශ්‍ර භාෂ‍ායෙන් රචිත බුද්‍ධ චරිතයෙකි. මෙය දොරකඩ අස්න වෙනුවට සත් දවසේ පිරිත් කිමේදී භාවිත වූවක් බව අග රතන සූත්‍රය සඳහන් කොට යො‍දා ඇති වාක්‍ය ඛණ්‍ඩයෙන් පෙනේ. එහෙත් පමා වැ බුද්‍ධගද්‍යය සේ ම දරුවනට අකුරු පුරුදු කරවන පාඩම් පොතක් සේ භාවිත ව ඇත. මේ දෙක අත්රගම රාජගුරු බණ්‍ඩාර පඬිතුමන්ගේ කෘති වශයෙන් සමහරු සලකති
බළන්ගොඩ ආනන්‍දමෛත්‍රෙය ස්‍ථවිර

සකස්කඩ

නමඃ ශ්‍රී ගණාය
දීපඞ්‍කරාහ්‍වය මුනීශ්‍වර පාදමූලෙ
සන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධාය
අත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත්
සිද්‍ධං නමොස්‍තු සුගතාය ජගද්‍ධිතාය
අප තථාගතයන් සංසිද්‍ධාශෙෂ සම්‍භාර විශෙෂ සාක්‍ෂාත්කරණීය සර්‍වපාපමලප්‍රක්‍ෂාලනක්‍ෂම ආත්‍මමොක්‍ෂ නිරපෙක්‍ෂ වැ - උදයව්‍යය - භඞ්‍ග භයාදීනවාදි නවමහා විදර්‍ශනඥාන පරම්‍පරාධිගත නිර්‍වාණ මහා සරසට පරිධාවමාන සමස්‍ත සත්ත්‍ව මාතඞ්‍ගයා මහා කරුණාංකුශයෙන් හම්නා - ජාතිජරාභඞ්‍ග භඞ්‍ගීරභඞ්‍ග භයානක රාගද්‍වෙෂාවමර්‍ශමදමාන සංරම්‍භාදි ක්‍ලෙශ මකරනිකරාකීර්‍ණ සංසාරමහාර්‍ණවාවතීර්‍ණ ද්‍වාෂෂ්‍ටි දෘෂ්‍ටිජාලාවබද්‍ධ සර්‍වසත්ත්‍වසමුද්‍ධරණානුබද්‍ධ බුද්‍ධි ඇති වැ - කායජීවිත නිරපෙක්‍ෂාභිජාත නිර්‍භාරාභ්‍යාහිත සර්‍වලොකෛක දීපායමාන දීපඞ්‍කර තථාගත ව්‍යාකරණාභිෂෙකයෙන් උදීර්‍ණක්‍ලෙශමලාපගම කොට නිර්‍මල වැ - අනෙක මුක්‍තිමුක්‍තානුයාත සම්‍යක් සම්‍බොධි සම්‍භාරහාරාලඞ්‍කාරයෙන් සමලඞකෘත වැ - ශශ්‍වදූපාස්‍යමාන පාරමිතාදූතිකානුනීයමාන ධර්‍මරාජ්‍යලක්‍ෂ්මීසඞ්‍ගමන මඞ්‍ගල්‍යයට ආරම්‍භ කොටැ - කල්ප කොටි ශතසහස්‍රාධික චතුරසංඛ්‍යකල්‍පකාලාභ්‍යාසාතිශය ස්‍වාත්‍මීකෘත සර්‍වසම්‍පදාදාන නිදාන දාන ශීල නෛෂ්‍කාම්‍ය ප්‍රඥා වීර්‍ය්‍ය ක්‍ෂාන්‍ති සත්‍යාධිෂ්‍ඨාන මෛ‍ත්‍ර්‍යුපෙක්‍ෂාලක්‍ෂණ දශවිධ පාරමිතා සාගරයෙහි පාරප්‍රාප්‍ත වැ - මාරාරාතිචක්‍රාක්‍රමණසන්නද්‍ධ බුද්‍ධාංකුර මහා යොධාද්‍ධ්‍යුෂිත තුෂිත භවනාරූඪ වැ - ශ්‍රද්‍ධානුරාගාවර්‍ජ්‍ජිතාමිතාමරවරවධු විධූයමාන මකරචාරුචාමරධවලීකෘතොදාර පාණ්‍ඩරතර කීර්ති විමානයෙහි වැඩැ වෙසෙමින් භක්‍තිප්‍රෙමාතිභාරාවන්‍ත සර්‍වසුරාසුරවර චක්‍රචාරුචූඩාමණිමරීචිසඤ්‍චය පරිචුම්‍බිත චරණනඛමයූඛ ජාලාභිෂෙකයෙන් භුවනත්‍රයයට අභිෂෙක දී - දුර්‍ගති දුර්‍ගාභිමුඛ වැ පරිධාවමාන සමස්‍ත සත්ත්‍ව සන්‍දර්‍ශනයෙන් සමුද්‍විග්‍න වැ - දිව්‍යබ්‍රහ්‍මයන් විසින් සමාරාධිත වැ - මහාසම්‍මත පරම්‍පරානුයාත ශුද්‍ධ සූර්‍ය්‍යවංශාභිජාත සර්‍වගුණ ගණාභරණ විභූෂිත කීර්තිමාලා පරිශුද්‍ධ ශුද්‍ධොදන මහාරාජොපනිඃශ්‍රයයෙන් අපරිමිත පුණ්‍යසම්‍භාර රූපලාවණ්‍ය ගුණොපෙත මහාමායා දේවීන් ගර්‍භචෛත්‍යාන්‍තර්‍ගර්‍භයෙහි ආත්‍මීය ප්‍රතිසන්‍ධාන ධාතුනිධාන කොටැ - ස්‍ඵටික චෛත්‍යාන්‍තර්‍ගතවිරාජමාන කනක ප්‍රතිමානුකාරයෙන් දිලිසෙමින් දශ මාසයක් මාතෘ ගර්‍භයෙහි වැසැ - වසන්‍ත මදමොදමානමුඛර මධුරතර භාරභරිතාංකුරිත කුසුමිත ඵලිතපල්‍ලවලතා විතාන විතත විචිත්‍ර විශාලසාල සලල කෙශර නක්‍තමාල තමාල නීප කදම්‍බාදී තරුෂණ්‍ඩ මණ්‍චිත ලුම්‍බිනී වනොද්‍යානයෙහි මාතෘගර්‍භයෙන් ප්‍රසූත වැ මහාබ්‍රහ්මොපනීන ස්‍වර්‍ණජාලයෙන් ලොකපාල දිව්‍යපුත්‍රොපනීත අජිනචර්‍මයෙන් මනුෂ්‍යොපනීත දුකූල චුම්‍බටකයෙන් ක්‍රමයෙන් වැඩැ - වසුධාඞ්‍ගනා මස්‍තකෛකශෙඛර භාවයට පම්‍ප්‍රාප්ත වැ - අශෙෂ දොෂාන්‍ධකාර නිකර නිරාකරණ සමුද්‍ගත තරුණ තරණී මණ්‍ඩලානුකාරයෙන් දිලිසෙමින් දශදිශා විලෝකනය කොටැ - අනන්‍තාපරිමාණ ලොකධාතු පර්‍ය්‍යාපන්‍න සමස්‍තසත්ත්‍ව නිකායයෙහි ආත්‍මසදෘශාධික පුද්‍ගලාන්‍තරයක්හු නැති සේ දැකැ - උත්‍තරදිශාභිමුඛ වැ සප්‍තපදව්‍යතිභාරාවසානයෙහි වැඩැ සිටැ - “අග්‍ගොහමස්‍මි ලොකස්‍ස, ජෙට්‍ඨොහමස්‍මි ලොකස්‍ස, සෙට්‍ඨොහමස්‍මි ලොකස්‍ස අයමන්‍තිමාජාති නත්‍ථිදානි පුනබ්‍භවො” යි අභීත සිංහනාද කොටැ - සර්‍ව සුරාසුරවර මත්‍තමාතඞ්‍ගමානමදපරිශොෂණ නිපුණ සිංහනාද පරිපූරිතාශෙෂ භවනකුහර ඇති වැ ශාක්‍යාධිරාජසිංහ පොතකොත්‍තමයන් චතුරචතුරාශීතිසහස්‍රකුලප්‍රභෙදවිස්‍තීර්‍ණ බන්‍ධු වර්‍ගයා මද්‍ධ්‍යයෙහි විරාජමාන වැ ශුක්‍ලපක්‍ෂාභිවර්‍ධමාන චන්‍ද්‍රමණ්‍ඩලානුකාරයෙන් ක්‍රමාභිවෘද්‍ධ වැ ප්‍රභාස්‍වරතරවරාඞ්‍ගනා මද්‍යයෙහි විරාජමාන චන්‍ද්‍රලෙඛානුකාරී යශොධරා ප්‍රමුඛානෙක කොටි නාටක ස්‍ත්‍රීන් පරිවෘත වැ - ප්‍රතිදිනාරබ්‍ධමංගල කපිලවාස්‍තු මහානගරවරයෙහි ක්‍රිඩානුභවයෙන් ඒකොනත්‍රිංශත් සංවත්‍සරාතික්‍රාන්‍ත කොටැ ජරාජීර්‍ණ රොගාවතීර්‍ණ මරණාවතීර්‍ණ පූර්‍වනිමිත්‍ත සත්ත්‍වසන්‍දර්‍ශනයෙන් සමුද්‍විග්‍න වැ ප්‍රව්‍රජිත රූපසන්‍දර්‍ශනයෙන් නිවෘත්‍ත වැ, නෛෂ්‍ක්‍රාම්‍යාභිමුඛ මනසින් සන්‍තුෂ්‍ට වැ, ඡන්න නම් අමාත්‍ය ද්‍විතීය වැ - අනෙක කොටි සතසහශ්‍ර චක්‍රවාලාන්‍තරාල පරිස්‍ඵුරිත දිව්‍ය බ්‍රහ්‍ම ගණාකීර්‍ණ පාරිජාත ම‍න්‍දාර මකරන්‍ද බින්‍දු සින්‍ධුරිතාංගසුන්‍දරතර චතුරතර තුරංගයානයෙන් ප්‍රයාණය කොට, අනොමා තීරයට සම්‍ප්‍රාප්‍ත වැ - සර්‍වාභරණ විභූෂිත කනකවර්‍ණ දෙහශොභා ඇති බැවින් සුපුෂ්‍පිත කණිකාර තරුශිඛර සමුර්‍ධ්‍වාගත භ්‍රමරාවලී ලීලායෙන් ආත්‍මීය ඛඞ්‍ගධාරා සමුච්‍ඡින්න කෙශධාතු ආකා‍ශයෙහි විහිදැ ඝටීකාර මහාබ්‍රහ්‍මොපනීත විශිෂ්‍ටාෂ්‍ටපරිෂ්‍කාරයෙන් ප්‍රව්‍රජිත වැ ප්‍රව්‍රජ්‍යාසුඛස්‍මෘති රසාස්‍වාදයෙන් සප්‍තාහාතික්‍රාන්‍ත කොටැ රාජගෘහ නගරවරයෙහි භික්‍ෂාටනයෙන් සන්‍තර්පිත වැ ෂට්-සංවත්‍සර මාත්‍රයක් ප්‍රධාන භූමියොග කොටැ - කෂ්‍ටව්‍රත සමාදානයෙන් මොක්‍ෂයාගේ අලභ්‍යභාවය ලොකයාහට ප්‍රකාශ කොට සුජාතොපනීත ක්‍ෂීරපායාස ප්‍රතිග්‍රහණයෙන් රූපකායානුග්‍රහය කොටැ ස්‍වස්‍තිද්‍විජොපනීත කුශමුෂ්‍ටිග්‍රහණයෙන් මාරාතිසංග්‍රාම භූමිස්‍ථානීය බොධි මණ්‍ඩපයට සම්‍ප්‍රාප්‍ත වැ - පෘථිවි සමුද්‍භෙදොද්‍ගත කුසුම පර්‍ය්‍යංකවරචාර සමාරූඪ වැ චතුරංග සමන්‍විත වීර්‍ය්‍යාධිෂ්‍ඨානයෙන් පර්‍ය්‍යංක බන්‍ධනය කොටැ - තත්‍කාල සමායාත සංග්‍රාමාතිභීෂණ මත්‍ත මාතඞ්‍ග තුරඞ්‍ගාඩම්‍බර හර්‍ෂහෙෂාරව බධිරීකෘතාශෙෂ ත්‍රිභුවන භවන පුටපාටනපටු පටහ පණව දුන්‍දුභිධ්‍වනි ප්‍රලයාසනි සම්‍පාත නිර්‍ඝොෂයෙන් ඝොෂ වූ දොර්‍දණ්‍ඩමණ්‍ඩලොෂිත නිශිත කොදණ්‍ඩ දණ්‍ඩ කාණ්‍ඩ කම්‍පන භින්‍දිවාල කරවාලාර්‍ධචන්‍ද්‍රචක්‍රාදි විවිධායුධ සහස්‍ර දුර්‍වාර සපරිවාර මාරපරාජය කොටැ - ප්‍රථම යාම සමධිගත පූර්‍වෙනිවාසානුස්‍මෘති ඥානාලොක බලයෙන් අතීත කාලවර්‍ත සර්‍ව දොෂාන්‍ධකාර නිකර නිරාකරණය කොටැ - මද්‍ධ්‍යමයාම සමධිගත දිව්‍යචක්‍ෂුරබිඥානාලොක බලයෙන් චවමානොපපද්‍යාමානාද්‍යනෙක සත්ත්‍ව සමීක්‍ෂණයෙන් නාගතාමිත කාලවර්‍ත්‍යඥානතමොජාලප්‍රදාලනය කොටැ - පශ්‍චිමයාම සමධිගතසවාසනාසර්‍වක්‍ලෙශසමුච්‍ඡෙද සමස්‍තාෂ්‍ටාංගාර්‍ය්‍යමාර්‍ගඥාන ලක්‍ෂණ ආස්‍රවක්‍ෂයකරාභිඥානාලොක බලයෙන් වර්‍තමාන ඝනතරාඥානතිමිර පටල පුටපාටනය කොට මෙසේ වූ ත්‍රිවිද්‍යාඥානාලොක බලයෙන් අධ්‍වත්‍රිතය සර්‍ව දොෂාන්‍ධකාර දූරීකරණයෙන් සංස්‍කාර විකාර ලක්‍ෂණ නිර්‍වාණ ප්‍රඥපති යන පඤ්‍චවිධඥෙයමණ්‍ඩලයෙහි ඓශ්‍වර්‍ය්‍යය කෙරෙමින් අනාවරණ ඥානාභිෂෙකයෙන් සර්‍වධර්‍මාධිරාජ්‍යපදයෙහි සුප්‍රතිෂ්‍ඨිත වැ - ස්‍ථානභවයොනිගතිවිඥානස්‍ථිති සත්ත්‍වාවාස භෙද භින්න සර්‍වසත්ත්‍වවර්‍ගාශ්‍රිත ක්‍ලෙශාරිවර්‍ගසමුච්‍ඡෙද චතුර චතුරාශීති සහස්‍ර ධර්‍මස්‍කන්‍ධ මහා නගරවරයට සම්‍ප්‍රාප්‍ත වැ චතු‍ර්‍වෛශාරද්‍ය දශබල චතුර්‍දශ බුද්‍ධඥානාෂ්‍ටාදශ බුද්‍ධ ධර්‍ම ද්‍වාත්‍රිංශද්‍වර මහාපුරුෂලක්‍ෂණයෙන් හා අශීත්‍යනුබ්‍යඤ්‍ජනව්‍යාමප්‍රභාකෙතුමාලාලඞ්‍කාරයෙන් විරාජමාන වැ - තථාගතවර ධර්‍මචක්‍රවර්ත්‍ති තමා නානා දෙශයෙහි නානා කාලයෙහි නානාවිධ විනෙය සත්ත්‍වාශයානුශය චරිතාධිමුක්‍ති වශයෙන් සද්‍ධර්‍මාමෘත වර්‍ෂා කෙරෙමින් සර්‍වසම්‍පන්න ශ්‍රාවස්‍ති මහා නගරවරොපනිඃශ්‍රය කොටැ - සර්‍වධර්‍මාධිරාජධානි ස්‍ථානීය ජේතවන මහා විහාරයෙහි වැඩ වෙසෙමින්, දෙසුවා වූ සුවාසූ දහසක් ධර්‍මස්‍කන්‍ධයට අන්‍තර්‍ගගත වූ විශාලා මහනුවර ජනපද රොගභය පලවා - කෙළලක්‍ෂයක් සක්වළෙහි ආඥා පැතිරැ දිලිසෙමින් සිටි රුවන් සූත්‍රයෙහි වදාළ තාක් ආඥා ගුණ තොජොබල මෛත්‍රී පුණ්‍ය ප්‍රභායෙන් සියල් ලෝවැස්සනට ද මට ද සේනුසේ විය යුතු.

සර්‍වාන්‍තරායවර මහබිනික්මන් සකස්කඩ නිමි

සිද්‍ධිරස්‍තු.

10/31/2011

ජනශ්‍රැතිය

1 ජනශ්‍රැතිය හඳුන්වා එහි මූලිකාංග පිළිබඳ විමසීමක් කරන්න.
  • ජනශ්‍රැතිය හඳුන්වා එහි මූලිකාංග පිළිබඳ විමසීමක් කරන්න
මිනිසා විසින් කටහරෙන් හෝ ප්‍රායෝගික හැසිරීම් රටාවෙන් පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරන ලද මනුෂ්‍ය ඥානය ජනශ්‍රැතියයි. මෙහිදී ජනයා යනු කවුරුන්ද ශ්‍රැතිය යනු කුමක්දැයි විග්‍රහයට ලක්වූයේ මානව ශ්‍රාස්ත්‍රීය විෂයයක් වශයෙන් අධ්‍යයනය කිරීමේ ආරම්භයත් සමඟය. ජනශ්‍රැති යන වචනය සකසාගන්නේ ඉංග්‍රීසි ෆොක්-ලෝර් (Folk-Lore ) යන වචන දෙකෙනි. යුරෝපීයයන් විසින් තම විනෝදාංශයක් වශයෙන් ජනශ්‍රැතියට අයත් කරුණු එකතුකරන ලදී. මෙම කරුණු ඒ කාලයෙහි හඳුන්වනු ලැබේ පුරාවස්තු හෝ ජනප්‍රිය සාහිත්‍යය වශයෙනි. විලියම් තෝමස් 1846 දී එම රටේ ඇතේනියන් සඟරාවට ලිපියක් ලියමින් මෙම වචන සියල්ල වෙනුවට (Folk-Lore ) යන වචනය යෙදීම මැනැවයි යෝජනා කළේය. ඒ වචනයට මිනිසුන්ගේ ගති පැවතුම්, සිරිත් විරිත්, චර්යාධර්ම, මිත්‍යා විශ්වාස, කවිකතා, ප්‍රස්තාව පිරුළු ආදිය ඇතුළත් වනු ඇතැයි ඔහු පැවසීය.
ඈත අතීතයේ සිට පෙරදිග දර්ශනය හා ඥානය ශ්‍රැති වහරෙන් පැවත ආ බව වෛදික සාහිත්‍යයෙන් හා ත්‍රිපිටකයෙන් හෙළිවෙයි. “ඒවං මේ සුතං” යනුවෙන් ආරම්භ වී ආනන්ද හිමියන් දේශනා කරන සූත්‍ර ශ්‍රැති ප්‍රවාහයට ඇතුළත් වෙයි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කළේ ඊට බොහෝ කාලයකට පසුවයි. ඒ අනුව “බැදගත්තු බෙරේ ගහන්නම වෙනවා”වගේම “කොළඹට කිරි අපට කැකිරි” ආදී ජනශ්‍රැති භාවිත කරති.
මේ අයුරින් පැවත ආ ජන්‍රශැති මාධ්‍යගත මනුෂ්‍ය ඥානයෙහි ශාස්ත්‍රීය ක්‍රියාදාමය වූ ජනශ්‍රැති ශික්ෂණය ගැන නිර්වචන ගණනාවක් ඉදිරිපත් වී තිබේ. ඉන් ශ්‍රී ලාංකිකයෙකු වූ ආනන්ද කුමාරස්වාමි ශුරීන්ගේ නිර්වචනය විශේෂ අවධානයට ලක්විය යුත්තකි.
“ජනශ්‍රැතිය යනුවෙන් අප අදහස් කරන්නේ ඓතිහාසික පර්යේෂණයට ලක් වූ වකවානුවට පෙර සිටම පොත පතින් නොව ඉඩ පරම්පරාවෙන් සහ මනුෂ්‍ය චර්යාවෙන් එනම් පුරාණෝක්ති සූරංගනාකතා, කවිකතා, කෙළි සෙල්ලම්, සෙල්ලම්බඩු, කලා ශිල්ප, වෙදකම, ගොවිතැන, ආචාරවිධි සහ, සමාජ සංවිධානයන් විශේෂයෙන් ම ගෝත්‍රික සමාජ සංස්ථාවන් මගින් පැවත එන පරිපූර්ණ, අඛණ්ඩ සංස්කෘතිකාංග සම්භාරයයි.”
(ආනන්ද කුමාරස්වාමි)
මිනිසුන් අතර පරම්පරාවට පැවත එන ලේඛනාරූඨ නොවූ ජනකවි, ජනකතා, තේරවිලි, නැළවිලි ගී ආදී සාම්ප්‍රදායික සාහිත්‍යය ජනශ්‍රැතියයි.
(විලියම් බාස්කොට්)
ජනශ්‍රැතිය ශික්ෂණයක් වශයෙන් සලකන විට ජන යනුවෙන් අදහස් කරන්නේ කවුරුන්දැයි අප වටහාගත යුතුය. ජනයා යනු සමස්ත මිනිස් සමාජයයි. ඒ අතර සමාන ගති පැවතුම්, රැකියා කතාබහ සිරිත් විරිත්, චර්යාධර්ම, අපේක්ෂාවන් ඇති කුඩා කණ්ඩායම් අප අතර සිටී. කම්කරුවන්. ගොවින්, පතල්කරුවන් ඉන් සමහරෙකි. ජනශ්‍රැති විද්‍යාඥයන් අවධානය යොමු කළේ ඔවුන් පිළිබඳවයි. ලෝකයේ හැමදාමත් හැමතැනමත් සිටින්නා වූ කුඩා කණ්ඩායම් ජනශ්‍රැතියෙහි “ජන” යන වචනයෙන් ගම්‍ය වන බව “බෙන් අමෝස්” පැහැදිලි කර ඇත.
“ජන ශ්‍රැතිය පිළිබඳ වර්තමාන අදහස්වලට අනුව පන්ති කාමරයක ශිෂ්‍ය පිරිසක් අතර ජනශ්‍රැති හටගත හැකිය. මේ අනුව “ජන” යන පදයට සුදුසුකම කියන්නන් ඇති විය හැක්කේ මූලික බැඳිමකින් යුතු පිරිසක් තුළය.” මෙම කරුණු සියල්ලම ඇතුළත් වන සේ ජනශ්‍රැති සඳහා පහත සඳහන් නිර්වචනය ඉදිරිපත් කළ හැකිය.
“කුඩා කණ්ඩායම් අතර සම්ප්‍රේෂණය වන්නාවූත්, කලාත්මක සන්නිවේදනයක් උත්පාදනය කරන්නාවූත් ශ්‍රැති, වහර, ජනජීවනය, ජනශ්‍රැතියයි. “Folklore is the meterial transmitted through oratl tradition and follife, yielding artistic communication
මෙහි ජන ජීවිතය යනුවෙන් අදහස් කරන්නේ ජනයාගේ කෑම බීම ඇඳුම් පැළදුම්, ඉඳුම් හිටුම්, ගෙවල්, සිරිත් විරිත්, අභිවාරවිධි, ශාන්තිකර්ම ආදී වශයෙන් ජීවිතයට අදාළ වන අවශ්‍ය වන පැවැත්ම සහ ක්‍රියාකාරීත්වයයි. එබැවින් ජනශ්‍රැතිය යනු ශ්‍රැතිය සහජීවනය සාක්ෂාත් කෙරෙන අධ්‍යයනයයි.
ජනශ්‍රැති වර්ගීකරණය
ජනශ්‍රැතිය විවිධ අවස්ථා යටතේ වර්ගීකරණය කළ හැකිය. එනම්,
  1. පුරාණෝක්ති
  2. වෘත්තාන්ත
  3. ජනකතා
  4. ජනකවි
  5. රස්තාව පිරුළු ආදී වශයෙනි.


  • පුරාණෝක්ති
ඉංග්‍රිසියෙන් මිත් යන වචනයට සිංහල පාරිභාෂික වචන දෙකක් ඇත. එනම් “පුරාණෝක්තිය” සහ “මිථ්‍යාව” යනුයි. මෙහිදී අපගේ අවධානයට යොමුවන්නේ පුරාණෝක්තියටයි. “පුරාණයෙහි කියූ දේ” එහි අර්ථයයි. මයිතෝස් (Mythos) යනු මෙහි ග්‍රීක වචනයයි. එහි අර්ථයද කියූ දේ යන්නයි. එය සංස්කෘත පදයට සමාන වෙයි. ජනශ්‍රැති මානව විද්‍යා විෂය ක්‍ෂේත්‍රයක් වශයෙන් ගත්කල එයින් විස්තර වන්නේ දේව උප්පත්තිය, මනුෂ්‍ය උප්පත්තිය සහ විශ්ව සම්භවවේදය ආදී වශයෙන් විශ්වය සහ දෙවියන් ගැන ඇති කුතුහලය සංසිඳවීමට ගත් ප්‍රයත්නයයි. එයින් ස්වභාවික වස්තූන් ගැන දෙවිදේවතාවුන් ගැන, වීරයින් ගැන ප්‍රාග් විද්‍යාත්මක විග්‍රහයක් දැක්වේ.
උදාහරණයක් ලෙස බෞද්ධ සම්ප්‍රදාය අනුව අතිවන කල්ප විනාශය පුරාණෝක්තියකි. කල්ප විනාශය සමඟ මුළු විශ්වයම විනාශ වෙයි. එහි කතාව මෙසේය.
“කල්ප විනාශයට පෙරාතුව බුදුරජාණන් වහන්සේගේ සියලූම ධාතුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ඒකරාශීව බුදුරුව මැවී උන්වහන්සේ ලෝවැසියන් අමතා දේශනයක් පවත්වනු ඇත. එය ශ්‍රවණය කිරීමේ වාසනාව ලැබෙන්නේ පින් දහම් පිරූ අයට පමණි.”
පුරාණෝක්ති ගැන විග්‍රහයක් දක්වන මානව විද්‍යාඥ රොබර්ට් රෙඩිෆිල්ඩ් (Rovert Redifield) මෙසේ විග්‍රහ කරයි.
“අභිලාෂය පුරාණෝක්ති කතාවට සමාන වෙයි. එය තමන් බලාපොරොත්තු වන දේ පිළිබඳ දෘෂ්ටියයි.”
උදා:- විජය පුරාණෝක්තිය
විජය කුමරහට දා ඒ යක්ෂනියගේ පුතෙක්ද දුවෙක් ද වූහ. විජය කුමර තෙමේ රාජ කන්‍යාව ආ බැව්ද අසා යකිනියට සොඳුරු දරුවන් දෙදෙනා තබා තී දැන් යා. මනුෂ්‍යයෝ සැමකල්ම අමනුෂ්‍යයන්ට බානාහ යයි කීය. ඒ අසා යක්ෂ භයින් භය වූ ඒ යකින්නට “තිට දහසකින් බලි දානය කරවමි. සෝක නොකර යි කීයේය. භය වූ ඕ තොමෝ ද නැවත නැවත ඔහු යාඥා කොට දරු දෙදෙනා යා යුතු අතක් නැති බැවින් ලංකා පුරයට ගියාය. පුතුන් බැහැර හිඳුවා තොමෝ නුවර වන්නාය. ඒ යකින්න හැඳින සෙර යයි සංඥා ඇති භය වූ ලංකා පුරයෙහි යක්ෂයෝ කැළඹුණෝය. එක් රෞද්‍ර යක්ෂයෙක් වූ කලි එක් අතුල් පහරකින්ම යක්ෂණිය මැරුයේය.”
ඇගේ මයිල් යක්ෂ තෙමේ නුවරින් බැහැර නික්මුණෝ ඒ දරුදෙදෙනා දැක තෙපි කවුරුන්ගේ දරුවෝ දැයි පිළිවිසියේය. කුවේණියගේ යයි අසා මෙහිදී තොපගේ මවු මරවන ලද්දීය. තොප දැක මරන්නාහ. වහා පළා යෙත්ව යි කීයේය. ඔවුහු එයින් වහා පළාගොස් සමන්කුළට ගියෝය.
ඒ දෙටු තෙමේ තරුණ වූයේ ඒ නැගණියන් සමඟ වාසය කළේය. ඔවුහු දූ පුතුන්ගෙන් වැඩි ඒ කඳුරටම විසූහ. මේ තෙමේ වැද්දන්ගේ උප්පත්තියයි.
(මහාවංශය)
  • වෘත්තාන්ත
ඉංග්‍රීසියෙහි ලෙජන්ඩ් (Legend) යන පදය සිංහලයට පෙරළා ගත් විට “වෘත්තාන්ත” යන අරුත ගෙනදෙයි. මින් අදහස් කෙරෙනුයේ කිතුනුවන් පල්ලියේදී හෝ භෝජන සංග්‍රහවලදී කියන සාන්තුවරයන් හෝ මෘතවීරයන්ගේ කතාය. ජනශ්‍රැති අධ්‍යයනයෙහිදී එය බොහෝ විට ඓතිහාසික සිද්ධීන්, පුද්ගලයන් හෝ වීරයන් හෝ ස්ථාන සම්බන්ධ කරගනිමින් ගෙතුණ මනඃකල්පිත කතාවකිනි. පුරාණෝක්තියත් වෘත්තාන්තයත් අතර වෙනස තරමක් අපැහැදිලිය. උදාහරණයක් ලෙස දුටුගැමුණු කථාව සමහරු වෘත්තාන්තයක් ලෙසද සමහරු පුරාණෝක්තියක් ලෙසද සලකති. පුරාණෝක්තියෙහි පසුබිම දෙවිදේවතාවුන් සහ ආගම්වල උප්පතීන් වන අතර වෘත්තාන්තයට ඊට මෑත යුගයේ, සත්‍යය සහ මනඃකල්පිතය යන දෙලක‍ෂණවලින් සැදුණු කතාවකි.
උදා :- ශ්‍රී පාදස්ථානය පිළිබඳ වෘතාන්තය නිශ්ශංකමල්ල රජුට විශාල මල් උයනක් තිබුණා. එය ප්‍රවේශම් කිරීම සඳහා යොදවා තිබුණේ පා දෙක කොර වූ පුද්ගලයෙක්. එනම් කොටෙක්. මෙම මල් උයනේ මල් නෙළා ගෙන සිරිපාදය නැරඹීමට දිනපතා රාත්‍රී කාලයේ සුරඟනන් එනවා. දිනපතාම මල් උයනේ මල් නැතිවීම ගැන රජතුමාට ද දැනගන්න ලැබුණා. මේ පිළිබඳව කොටාගෙන් විමසනා ලදුව මල් හොරා අතට අසුකර ගැනීමට කොටා නිදිවරාගෙන සැඟවී සිටියා. එක් දිනක් සුරංගනාවියක් මල් නෙළීමට පැමිණ කොටාගේ අතටම අහුවුණා. පසුව සුරංඟනාවිය මල් නෙළන්නේ බුදුන්ගේ සිරිපතුල නැමදීමට බව සුරංඟනාවිය කොටාට පැහැදිලි කළා. ඒ වගේම සිරිපතුල බැලීමට කොටාට කැටුව සමනල ගල මුදුනට ගොස් සිරිපතුල බැලීමට කොටාට අවස්ථාව සලසා දී තියෙනවා. කොටා සුරංඟනාවිය සමඟ සිරිපාද කන්ද නගින විට යන පාරේ මගදිගට මල් හළාගෙන ගොස් තියෙනවා. පසුව සිරිපාදය වැද පුදාගෙන කොටා ආපසු මල් උයන වෙත හැරලවා සුරංගනාවිය අතුරුදන් වුණා. පසුවදා නිශ්ශංකමල්ල රජු උයනට පැමිණි වේලාවේ පෙරදිග රාත්‍රියේ සිදු වූ දේ සියල්ලම කොටාගෙන් දැනගෙන පාරේ දමන ලද මල්වලින් පාර සොයාගෙන රජතුමා සිරිපාදය සොයා ගත්තා. සිරිපතුල මැණික් ගල් උඩයි පිහටවල තිබුණේ. ඒ වටිනා මැණික සොරුන් ගනිවි යැයි රජතුමා සැක කරල මැණික වැහෙන්ඩ කළුගලක් තියල ඒ උඩ සිරිපතුල් ලාංඡනය පිහිටෙව්වා.


  • ජනකතා
ජනකතාව යනු කටවහරින්, ලිඛිතව හෝ රඟ දැක්මෙන් හෝ වෙනත් අයුරකින් සාම්ප්‍රදායිකව පැවත එන කතාවකි. උදාහරණ ලෙස පංචත්නත්‍රය හිතෝපදේශය, ජාතක කතා, අරාබි නිසොල්ලාසය හෝ සින්ඩරෙල්ලා ආදිය සඳහන් කළ හැකිය.

ජනකතා ලක්ෂණ
  • ඕනෑම ජනකතාවක් ආදී මධ්‍ය පරියෝසාන වශයෙන් කොටස් තුනක් දක්නට ලැබීම.
“එකමත් එක කාලෙක” යනුවෙන් කතාවක් ආරම්භ කළ විට එය ජනකතාවක් බව අපි දනිමු. මේ කතා කටවහරින් පැවත එනවිට යම් යම් වෙනස්කම්වලට භාජනය වීම නොවැළැක්විය හැකිය. එහෙත් සෑම අවස්ථාවකම පාහේ කතා හරය එක හා සමාන වන අතර එය ඉදිරිපත් කෙරෙන ආකාරය, සිදුවීම්වල වර්ධනය, නිර්මාණාත්මක යෙදීම් සහ වාග්මාලාව වෙනස්වෙයි.
  • ජනකතාව මනාව ව්‍යාප්ත කළහැකි කතාකාරයන් සිටීම
එවැන්නක් ජනශ්‍රැති විද්‍යාඥයන් හඳුන්වන්නේ “සාර්ථක සම්ප්‍රදායධාරීන්” යනුවෙනි. කතා කීමටද දක්ෂතාවයක් තිබිය යුතුය. එම කතා ආරක්ෂා වී තිබුණේ ඔවුන්ගේ මාර්ගයෙනි. කිසියම් සිද්ධියකට අවධානය යොමු කිරීම සඳහා අවශ්‍ය අවස්ථා අවධාරණය කිරීමටත්, හාස්‍යය, කුතුහලය වැනි නවරසය කුළුගැන්වීමටත් යොදන භාෂාවෙන් එම ජාතියේ බස්වහර දියුණු කිරීමට ඔවුහු සමත් වෙති.
  • ශ්‍රාවක ජනයා අනුව ප්‍රස්තුතය වෙනස් කිරීම
ළමුන්ට කතාන්දර කිම නිදසුනක් ලෙස පෙන්වාදිය හැකිය. එම කතාවලට ඇතුළත් සිද්ධීන් සහ භාෂාවද ඔවුන්ගේ මානසික තත්වය සහ වයසට අනුකූල වූවකි. මෙසේ ස්ථානයට, කාලයට හා ශ්‍රාවක පරිසරයට අනුකූලව වූවකි. මෙසේ ස්ථානයට, කාලයට හා ශ්‍රාවක පරිසරයට අනුකූලව කියන කතා ජනශ්‍රැති විද්‍යාවෙහි හඳුන්වා දී ඇත්තේ ප්‍රකරණ කතා (context) යනුවෙනි. මේ අනුව මෙම කතා ළමා කතා, සත්ත්ව කතා, විහිළු කතා, සුරංගනා කථා, මාර කතා, යක්ෂ කතා ආදී වශයෙන් වර්ගකළ හැකිය.
උදා:- ඒ අතේ වැඩ හරි
එක කාලයක බොහෝ දක්ෂ කපු මහත්තයෙක් හිටියා එක ගමක කපුමහත්තයා කියන්නේ දන්නවනේ ඔය දේවාල කෝවිල්වල ඉන්න කපු මහත්තයල නොවෙයි. ගම්බද මගුල්තුලා කතාබහකරන අයට තමයි කපුවා කියන්නේ. ඒ කාලේ කපුවෝ හඳුනාගන්න පුළුවන් බොහෝ වේලාවට ඒ ගොල්ල අඳින්නේ පට සමරයි. කළු කෝට්එකයි. තව කුඩයකුත් ඕන. සමහර අය පුංචි කොණ්ඩයක් බඳිනවා. ඉතින් මෙහෙට කපු මහත්තයෙක් හිටියා කියමුකො.
එක ගෙදරක හිටිය මොකක් හරි අනතුරකින් කකුලක් නැතිව ගිය තරුණයෙක් මෙයාට පෙළවහක් කර දෙන්න දෙමාපියන් උත්සාහගත්තේ අර කකුල නැති නිසා ඒක බොහෝම පරක්කු වුණා. බැරිම තැන දෙමාපියන් මේ සඳහා ගෙන්නගත්තා කපුවෙක්. මං හොයල දෙන්නම්කො මෙයාට මනමාලියෙක් මෙහෙම කියලා කපුවා ගියා.
ඔය අතරේ මේ කපු උන්නැහේට තවත් ගමකින් ඉල්ලීමක් කරල තිබුණා. මේ ගමේ ගෙදරක ඉන්න ලමිස්සියක් ගැන. අනේ අවාසනාවකට එයාගේ උපතින්ම වම් අත නැහැ. දකුනු අත විතරයි තිබුණේ. ඉතින් අර කපුවා කල්පනා කරල මනමාලයගේ පැත්තට ගිහින් කිව්වා ඔන්න හරි සේරම කතා කරගත්තා අල්ලපු ගමේ හොඳ ලස්සන ලමිස්සියෙක් ඉන්නවා මම විස්තර කිව්වා ඒ අතේ වැඩ හරි කියලත් කිව්වා.
මනමාලිගේ පැත්තට ගිහින් කිව්වා ඔන්න මම තැනකට කතාකළා ගජ ඉලන්දාරියා විස්තරයක් කිව්වා ඒ පැත්ත නම් එක පයින් කියලා කිව්වා. මගුල් දිනෙත් ළඟා වුනා මනමාලයගේ පැත්තෙ අය මනමායත් එක්ක ගියා මනමාලියගෙ ගෙදරට මනමාලය ගියේ කිහිලි කරුවෙන් ඇයි කකුලක් නැහැනෙ.
ඉතින් මනමාලිගෙ ගෙදරට මේ පිරිස ගියහම එහෙ එක කලබලයක් මනමාලයට කකුලක් නැති බව දැනගත්තම ඒ ගොල්ල කපුවට දොස් තිබ්බා. නොසෑහෙන්න බැන්නා. ඒ ගමන කපුවා කියනවා.
ඇයි මං ඔහේලට කී දවසක් කිව්වද ඒ පැත්ත එක පයින් කියල. කොහොම වුණත් මනමාලිගෙත් අඩුවක් තිබෙන නිසා පස්සේ කමක් නැහැ කියල මංගල්ලෙ කරන්න හිතලා මනමාලි එක්ක ගෙන ආව සාලයට.
මනමාලිගෙ අතක් නැති බව මනමාලයගෙ නෑදෑයෝ දැක්කෙ ඒ වෙලාවේ. මනමාලයගෙ පැත්තෙ අය කපුවට දොස් තිබ්බා. ඒ ගමන කපුවා කියනවා. ඇයි ඔහෙලට කිව්වනෙ කීප වතාවක් ඒ අතේ වැඩ හරි කියලා මම වැරැද්දක් කළේ නැහැනෙ. කොහොම හරි කපුවගේ දක්ෂකම නිසා කකුලක් නැති මනමාලයයි. අතක් නැති මනමාලියි කසාද බැන්දා කියමුකෝ.
  • ජනකවි
ජනකවියෙහි අංග ලක්ෂණ
  1. සමස්ත සමාජය තුළම පැතිර සිටි උසස් පහත් භේදයක් නොමැතිව සමාජයේ රදළයාගේ සිට දුප්පතා දක්වාම පැතිර සිටි මාධ්‍යයක් වීම හා එමගින් සමස්ත සමාජයම ජනකවිය නම් වූ භාෂාංග භාවිත කිරීම.
  2. සරල සුගම බස්වහරක් මෙන්ම කටවහරක් බහුලව යොදා ගැනීම නිසා සමස්ත ජනයාට තේරුම් ගැනීමේ හැකියාව ලැබීම.
  3. වෘත්තය මට්ටමෙන් වෙනස් ආරක ජනකවි නිපදවීම හා එක් එක් වෘත්තිය අනුව තාලය රිද්මය හා භාෂා භාවිතය වෙනස්වීම.
  4. බොහෝ විට අව්‍යාජත්වය පිරි පැවතීම.
ජනකවිය වර්ගකිරීම
  1. වෘත්තිය හා බැඳුණු ජනකවි
  2. ආගමික ඇදහිලි හා දෙවියන් පිළිබඳ ජනකවි
  3. ඓතිහාසිකත්වය හෙලිකරන ජනකවි
  4. විනෝදය සඳහා භාවිත ජනකවි
  5. සිරිත් විරිත් හා අභිචාරවිධි සම්බන්ධ ජනකවි
  6. උපහාසය හා බැඳුණු ජනකවි
  7. භාවමය ජනකවි
  • වෘත්තිය හා බැඳුණු ජනකවි
බමර අඬන්නා කඳු බඩ නෙළුම් මලේ
බමරු මිස දෙබරු නාඬත්ද මොර මලේ
මුතු කුඩ සේම රැලි ඉල්ලා බඳිති ගලේ
පැදලා කපන්නම් රූ සිරි ගොවිඳු ගලේ
(මළිඟු කවි)
  • ආගමික ඇදහිලි හා දෙවියන් පිළිබඳ ජනකවි
නමස්කාර කරමුව ඉර දෙවියන්ට
නමස්කාර කරමුව සඳ දෙවියන්ට
නමස්කාර කරමුව ගණ දෙවියන්ට
නමස්කාර කරමුව අවසර ගන්ට
  • ඓතිහාසිකත්වය පොළිකරන ජනකවි
සිරි ලංකාපුර වසනා සුදනනි
මඳක් අසනු මෙය සමාවෙලා
සිරි ලංකාපුර පෙර විසූ රජවරු
දිවි රැක්කේ ගොවිතැන් කරලා
සිරි ලංකාපුර සියලූම සැපතින්
බැබළී තිබුණෙලූ පොරණ කලා
සිරි ලංකාපුර පෙර විසූ ගොවියෝ
හී පද හැටි දැන් අහපල්ලා
  • විනෝදය සඳහා භාවිත ජනකවි
ඔළිඳ තිඛෙන්නේ කොයි කොයි දේසේ
ඔළිඳ තිඛෙන්නේ බංගලි දේසේ
ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ
ගෙනත් සදන්නේ සිංහල දෙසේ
(ඔළිඳ කෙළිය)
  • සිරිත් විරිත් හා අභිචාර විධි සම්බන්ධ ජනකවි
වත්තේ සිවුකොණ කවුළු තහංචි
මඩුවත් ඇඳ පුටු වියන් තහංචි
සබයෙන් කෙතලේ කෙණ්ඩි තහංචි
මෙමගුල් ගෙදරට එන්ඩ තහංචි

  • උපහාසය හා බැඳුණු ජනකවි
පොට්ටනියේ මොනවද බොල ලිහාපන්
කොට්ට පැදුරු පළමු බිම තියාපන්
හැට්ට අතට යටකළේ තිම බලපන්
පට්ට පඳුරු දහමන්දිරි කියාපන්
  • භාවමය ජනකවි
“දඹරන් කඳ වගේ ගන තුනටිය ගස්සා
නුඹ පිපි මලයි මම පැණි බොන මීමැස්සා
සැබැවින් ළදේ නුඹ නම් මට විස්සාසා
නුඹ ගැන මගේ පණවත් දෙනවා එනිසා”
  • ප්‍රස්තාව පිරුළු
ජනශ්‍රැතියේ අගයක් වන ප්‍රස්තාව පිරුළු නිර්මාණය වී ඇත්තේ කිසියම් ප්‍රස්තාවක් පදනම් කොටගෙනය. නැතහොත් සිද්ධියක් පදනම් කොටගෙනය. මෙම ප්‍රස්තාව පිරුළු අවස්ථා බෙදා දැක්විය හැකිය.
එනම්,
  1. වෘත්තාන්ත පිරුළු
  2. සහධර්ම පිරුළු
  3. සත්‍ය ධර්ම පිරුළු
  4. සතුන් මුල්කරගත් පිරුළු
  5. අනුප්‍රාසය මුල්කරගත් පිරුළු
  6. නව්‍ය පිරුළු
  • වෘත්තාන්ත පිරුළු (සිද්ධියක් මුල්කොට ඇති)
කිසියම් කතාපුවතක් පදනම් කොටගෙන ව්‍යවහාරයට පැමිණ ඇති පිරුළු වෘත්තාන්ත පිරුළු වේ.
  1. කළුවා මාරපන් ගියා වගෙයි.
  2. ගමරාල සිල්ගත්තා වාගෙයි
  3. හතර බීරි කතාව වගෙයි.
  4. කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගෙයි.
  5. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වාගෙයි.
  6. හොරාගෙ අම්මගෙන් පේන ඇහුවාවගෙයි.
  7. පරංගියා කෝට්ටේ ගියා වගෙයි.
  8. ආඬිහත්දෙනාගේ කැඳ හැළිය වාගෙයි.
  • සාරධර්ම පිරුළු (සමානත්වයක් ඇති)
කිසියම් ධර්මතාවක් හඳුන්වාදීම සඳහා යෙදෙන පිරුළු සාරධර්ම පිරුළු නම් වේ.
  1. ගලේ කෙටූ අකුර වගෙයි.
  2. නරියා පඹගාලේ පැටළුණා වාගෙයි.
  3. අඟේ ඉඳන් කන කනවා වාගෙයි.
  4. නැගපු ඉනිමගට පයින් ගහනවා වගෙයි.
  5. අශ්වයාට අං ලැබුණා වගෙයි.
  6. උරැලෑවා ගිය පාර වාගෙයි.
  • සත්‍යධර්ම පිරුළු
කිසියම් ධර්මතාවක් හඳුන්වාදීම සඳහා යෙදෙන පිරුළු සත්‍යධර්ම පිරුළුය.
  1. ආරේ ගුණ නෑරේ
  2. ඇවිද්ද පය දහස් වටී.
  3. අවිගත්තෝ අවියෙන්ම නසිති.
  4. තමා හිසට තම අතමය සෙවනැල්ල.
  5. පිරුණු කලේ දිය නොසැලේ.
  6. කට බොරු කිව්වත් දිව බොරු නොකියයි.
  • සතුන් මුල් කරගත් පිරුළු
  1. ලුලා නැති වලට කණයා පණඩිතයාලූ
  2. ඉබ්බා දියට දැම්මාම ඈන්නෑවේ කියපි
  • අනුප්‍රාස රසය මුල්කරගත් පිරුළු
  1. වක්කඩේ හකුරු හැංගුවා වගේ
  2. කොළඹට කිරි අපට කැකිරි
  3. දැනගෙන ගියොත් කතරගම නොදැනගියොත් අතරමග
  4. ජරමර අස්සේ බර කරත්ත
  5. කොරේ පිටට මරේ
  • නව්‍ය පිරුළු
  1. අලිමංකඩ යනවා කියල පාමංකඩ ගියා වගේ.
  2. කිලිනොච්චියෙ යනවා කියල මැදවච්චියේ ගියා වගේ.


මහගම සේකර


මහගම සේකර
උපත සේකර
1929 අපෙ‍්‍ර්ල් මස 7 වැනිදා
මියගියේ 1976 ජනවාරි මස 14 වන දින
කොළඹ
ජාතිය ශ්‍රී ලංකාව ශී‍්‍ර ලාංකික
රැකියාව රජයේ ලලිත කලායතනයේ විදුහල්පති
ප්‍රසිද්ධ වන්නේ ගීත රචක, නවකතා, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂ
මව්පියෝ මහගම ගේ ජෝන් සිංඤෝ


මහගම සේකර නමැති කලාකරුවා

මහගම සේකර(1929–1976) ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකේ. ඔහු කවියකු, ගීත රචකයකු, නවකතා කරුවකු, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකුවශයෙන් සුපතල විය. ඔහු වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ වූයේ සිංහල ගීත රචකයෙකු වශයෙනි. සිංහල නිසඳැස් පද්‍ය කලාවේ ඔහු සුවිශේෂී සලකුණක් තැබුවේය. එසේ ම හෙතෙම චිත‍්‍ර ශිල්පියෙක් ද වූයේ ය. ආචාර්ය කේ. ජයතිලක පසුකලෙක දක්වා ඇති ආකාරයට සේකර විශේෂයෙන් කැපී පෙනුණේ චිත‍්‍ර කලාවට ය. (දිවයින 2007 ජනවාරි 11) කවර අවස්ථාවක වුව ද ඔහු අතට අඟුරු කෑල්ලක්, පැන්සලක්, පෑනක්, හුණු කැටයක් හසු වූ විට ඔහු කළේ ළඟ තිබුණේ කඩදාසියක් ද, බිත්තියක් ද, එසේත් නැත්නම් වෙනත් උපකරණයක් ද යන විශේෂය නොබලා එහි චිත‍්‍ර ඇදීම බව ඔහු එහි දී තවදුරටත් දක්වා තිබිණි.

ළමා කාලය

මහගමසේකර උපන්නේ රදාවානේ ය. ඒ 1929 අපෙ‍්‍ර්ල් මස 7 වැනිදා ය. (උප්පැන්න සහතිකයේ ඔහුගේ නම සඳහන් වන්නේ නිකම්ම නිකම් ‘සේකර’ කියා ය) කලාකරුවකු වීමට ඔහුට මූලික වශයෙන් ම බලපෑවේ ඔහු ගේ පියා විය යුතු ය.
හේ මහගම ගේ ජෝන් සිංඤෝනම් වූයේ ය. පියා සැරැසිලි චිත‍්‍ර සම්බන්ධයෙන් ගම් ප‍්‍රදේශයේ ඉතා ප‍්‍රකට පුද්ගලයකු වූ බව පැවැසේ. සේකර සිය ‘ප‍්‍රබුද්ධ’ කාව්‍ය සංග‍්‍රහය පිළිගන්වමින් පියා ගැන මෙසේ ලියා ඇත.

'විසල් සුදු ඩිමයි කඩදාසි මත'
'තබා මහ කවකටුව දිග රූල'
'ඇඳ නෙක මෝස්තර මල් හා කොළ'
'කපා කැටයම් ඉඳු බොකුටු නියනින්'
'විශ්වයෙහි රටාවම කලාවට නඟන හැටි'
'කුඩා කල සිටම මට කියාදුන් තාත්තට'

තුංමං හංදිය

මහගම සේකර ලියූ ‘තුංමං හංදිය’ නවකතාවේ එන සිරිසේන ගේ චරිතය එක් අතකට මහගම සේකර ගේ ම චරිතයට බෙහෙවින් සමාන ය. සිරිසේන තම ජීවිතයේ තීරණාත්මක වූ තුං මං හංදිය වෙත පිවිසෙයි. එහි දී පාරවල් තුන තුන් අතකට විහි දී යයි.
එක් පාරක් ආපහු ගෙදර යන පාර ය. අනෙක් පාරෙන් ගියොත් ගම්පහ ලෝරන්ස් විදුහලට ගොස් ඉංග‍්‍රීසි ඉගෙන ගත හැකි ය. තුන් වැනි පාර දිගේ යන්නට ඇත්තේ කොළඹ මරදානේ කාර්මික විද්‍යාලයට ය. (තුංමංහංදිය සිවු වැනි මුද්‍රණය 1984 පිටුව 140 – 141) මේ ආකාරයට ම මහගමසේකරට තම ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් එළැඹිණි. ඔහු ද සිරිසේන මෙන් කොළඹට විත් මරදාන කාර්මික විද්‍යාලයයට බැඳී චිත‍්‍ර කලාව ඉගෙනීමට පටන් ගත්තේ ය. ඒ 1948 දී ය.

‘43 කණ්ඩායම’

1948 පමණ වන විට මේ රටේ ‘43 කණ්ඩායම’ ඔස්සේ නූතනවාදී චිත‍්‍රකලා සම්ප‍්‍රදායයක් ගොඩනැඟී අවසන් බව අප සිහි කටයුතු ය. එකල කාර්මික විදුහලේ චිත‍්‍ර ශිල්පය ඉගෙනීමට සිදුවූයේ ඉංග‍්‍රීසි භාෂා මාධ්‍යයෙනි. එසේ ම එහි ඉගැන්වූ චිත‍්‍ර කලාව ද පර්යාලෝක නීති රීති ගුරු කොටගත් බටහිර යථාර්ථවාදී චිත‍්‍ර කලාව විය. කාර්මික විදුහලේ සමාජ සංස්කෘතික පසුබිමත් එකී චිත‍්‍ර කලා රීතියත් සේකරට ඒ තරම් ම ඇල්ලුවේ නැති බවක් පෙනෙන්ට තිබේ.
භූමි දර්ශන ඇඳීමත් ප‍්‍රභූන් ගේ ආලේඛ්‍ය චිත‍්‍ර ඇඳීමත් චිත‍්‍ර කලාව නොවන බව සේකර වටහා ගෙන තිබුණේ ය. එය ඉතා ව්‍යක්ත ව ප‍්‍රකාශ කර ඇති අවස්ථාවක් ‘සුපුබුදු කලා විදු මහගම සේකර’ නම් වූ පොත් පිංචේ එයි. “යුරෝපීය චිත‍්‍ර ශිල්පීන් අනුගමනයෙන් සුන්දර දේශ දර්ශන පිටපත් කිරීමක් හෝ මැති ඇමැති ආදී ප‍්‍රභූන් ගේ තෙල් සායම් හෝ දිය සායම් හෝ වර්ණ චිත‍්‍ර ඇඳීමක් හෝ සේකර කවදාකවත් ප‍්‍රිය නො කෙළේ ය.
ඓතිහාසික ස්ථාන චිත‍්‍රපට නැඟීමට උත්සුක නො වූ හේ සාම්ප‍්‍රදායික සංකේතයන් අවශ්‍ය පරිදි නවමු ශෛලියකින් ඉදිරිපත් කෙළේ ය. (1990 පිටුව 33)
ඊට මඳක් සමාන අදහසක් ආචාර්ය කේ. ජයතිලක විසින් ද කරනු ලැබ ඇත. “... ඔහු මරදාන ටෙක්නිකල් කොලිජියේ ඉතා ප‍්‍රකට චිත‍්‍රඥයන්ගෙන් චිත‍්‍ර කලාව හදාළ නමුත් ඔවුන් ගේ චිත‍්‍ර සම්ප‍්‍රදායයන්ට යට නො වූ තමා ගේ ම චිත‍්‍ර සම්ප‍්‍රදායක් ගොඩනඟා ගෙන තිබිණි.
(ඉහත ‘දිවයින’ පත‍්‍රයේ ලිපිය) එකරුණ තවදුරටත් ස්ථාපිත කිරීම සඳහා ‘සුපුබුදු කලා විදු මහගම සේකර’ නම් වූ පොත් පිංච ලියන ජයදාස කුමාරගේ ගේ මේ අදහස් ද උපුටා ගැනීම මැනවැ යි සිතමි. දේශීය හෝ ස්වාධීන චිත‍්‍ර කලාවක් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකට එදා කාර්මික විද්‍යාලයානුබද්ධව පැවැති චිත‍්‍ර ශිල්පීය අංශයෙන් සේකරට එතරම් පිහිටක් ලැබුණේ නැත.
ලන්ඩනයේ චෙල්සි චිත‍්‍ර ශිල්පායතනයෙන් උපාධි ලබා පැමිණ සිටි ආචාර්ය භවතුන් විසින් බටහිර චිත‍්‍ර කලාවම ශ්‍රේෂ්ඨ තන්හි ද සැලැකුණු එවැනි යුගයක සේකර ස්වාධීන සිත්තම් ආරක් අනුගමනය කිරීමට පටන්ගත්තේ ය. (25 පිටුව)
1949 දී චිත‍්‍ර කර්ම ගුරු විභාගයට පෙනී සිටි සේකර ඊළඟ වසරේ දී චිත‍්‍ර ගුරුවරයකු ලෙස නිට්ටඹුව ගුරු අභ්‍යාස විදුහලට ඇතුළු වූයේ ය.

මහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණ

Skara art.jpg
මහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණ විග‍්‍රහයේ පහසුව තකා කොටස් කීපයකට බෙදා දැක්විය හැකි ය. ඒ
  • (1) ප‍්‍රදර්ශන සඳහා ඉදිරිපත් කළ චිත‍්‍ර
  • (2) ‘තුංමං හංදිය’ චිත‍්‍රපටය සඳහා නිර්මාණය කළ චිත‍්‍ර
  • (3) පුවත්පත් කාටුන්
  • (4) පොත් කංචුක නිර්මාණ
  • (5) ඉලස්ටේ‍්‍රෂන් (සන්නිදර්ශන)
  • (6) බතික් නිර්මාණ
  • (7) එම්බ්‍රොයිඩර් නිර්මාණ
  • (8) පෝස්ටර් යනාදි වශයෙනි.

චිත‍්‍ර ප‍්‍රදර්ශන

මහගමසේකර අවස්ථා තුනකට වඩා චිත‍්‍ර ප‍්‍රදර්ශන පවත්වා නැත. 1954 දී ජාතික කලා පෙරමුණේ වාර්ෂික චිත‍්‍ර ප‍්‍රදර්ශනයට සේකර ඉදිරිපත් කළ ’මව හා දරුවා’ නම් වූ චිත‍්‍රය මහාචාර්ය ගුණපාල මලලසේකර මිලට ගත් බව සඳහන් ව ඇත.
1969 අපෙ‍්‍ර්ල් 22 - 29 දිනවල කොළඹ කලා භවනේ දී සේකර චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පවත්වා ඇත. හැත්තෑව දශකයේ දී සේකර ගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් කොළඹ සමුද්‍රා හෝටලයේ සෙරන්ඩිබ් කලාගාරයේ දී ද පවත්වා ඇත.
සේකර ගේ චිත‍්‍රයකට පළමු වතාවට සම්මානයක් ලැබුණේ 1956 දී ජාතික කලා පෙරමුණ සංවිධානය කළ චිත‍්‍ර තරගයක දී ය. ඒ ඔහු ගේ ‘මහභිනිෂ්ක‍්‍රමණය’ නම් වූ චිත‍්‍රයට ය.
සේකර ‘ලංකාදීප’ හා ‘රසවාහිනි’ යන පුවත්පත් සඟාවනට ‘සේකර ගේ ජරමර’ යන නමින් විකට කාටුන් නිර්මාණය කෙළේ ය. උපහාස රසය සේකර ගේ කවිවලත් දක්නට ලැබුණු විශේෂ ලක්‍ෂණයකි.
සේකර පොත් ගණනාවකට ම කංචුක නිර්මාණය කර ඇත. ඔහු මුලින් ම පොතක් සඳහා පිට කවරයක් ඇන්දේ ආචාර්ය කේ. ජයතිලක ගේ ‘දෛවයෝගය විචාරය’ (1953) නමැති විචාර ග‍්‍රන්ථයට ය.
ජී. එස්. ප‍්‍රනාන්දු ආදීන් එතෙක් පවත්වාගෙන ආ පොත් පිට කවර සම්ප‍්‍රදායය මුළුමනින් ම උඩුයටිකුරු විප්ලවයකට භාජනය කරන ලද්දේ සේකර විසින් ආරම්භ කරන ලද පිට කවර නිර්මාණ මඟින් බව ආචාර්ය කේ. ජයතිලක කියා සිටී. (දිවයින ඉහත සඳහන් ලිපිය) හැටේ දශකයේ දී හොඳ පොතක සලකුණ බවට පත් වූයේ සේකර ගේ කංචුක චිත‍්‍ර නිර්මාණ රැගත් පොත් ය.
සේකර නිර්මාණය කළ ‘ඉලස්ටේ‍්‍රෂන්’ ඔහු ගේ ළමා පොත් කීපයක එයි. (පුංචි අයට කයිකතන්දර, සරු පොළොවක් අපට ඇතේ, කොටි වලිගය, ළමා ගීත) සේකර ගේ ඇතැම් කවි ද (සංයුක්ත කවි?) චිත‍්‍රවල හැඩරුව ගනී.
සේකර තම බිරිය ගේ සාරි සඳහා නිර්මාණය කළ බතික් හා බිරිය හා දියණියන් සඳහා නිර්මාණය කළ එම්බ්‍රොයිඩර් ඔහු ගේ වෙබ් අඩවියේ දක්නා ලැබේ. එයින් විශේෂයෙන් ම එම්බ්‍රොයිඩර් ඉතා ම නිර්මාණශීලි බව කිය යුතු ය.
තුංමංහංදිය’ චිත‍්‍රපටය සඳහා මුද්‍රණය කර ඇති පෝස්ටරය ද සේකර ගේ නිර්මාණයකි. ඒ චිත‍්‍රපටයේ ආරාධනා පත‍්‍රය ද ප‍්‍රචාරක පති‍්‍රකා ද (විශේෂයෙන් මෝටර් රථවල ඇලවීම සඳහා භාවිතා කළ ස්ටිකරය) සේකර විසින් ම නිර්මාණය කරන ලද්දකි.
මහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණ නිසි විචාරක ඇගැයීමකට ලක් වූයේ ද යන්න සැක සහිත ය. ඔහු ගේ චිත‍්‍ර ගැන විචාරශීලි අවධානයක් යොමු කර ඇත්තේ් එල්. පී. ගුණතිලක, සිරිනිමල් ලක්දුසිංහ, ෂෙල්ටන් ආරච්චිගේ හා චන්ද්‍රගුප්ත තේනුවර යන අය පමණක් විය යුතු ය.

විදේශීය චිත‍්‍ර ශිල්පීන් වෙතින් ලද ආභාසය

එල්. පී. ගුණතිලක හා සිරිනිමල් ලක්දුසිංහ ලියූ ලිපිවලට ද (‘මහගම සේකර හා කලා නිර්මාණ’ නම් වූ පොතේ එම විචාර ලිපි පළ වී ඇත) සේකර විදේශීය චිත‍්‍ර ශිල්පීන් වෙතින් ලද ආභාසය ගැන කරුණු දක්වා ඇත. විශේෂයෙන් පියෙට් මොන්ඩි‍්‍රයන් (1872 - 1944), ජුලියෝ ගොන්සාලේස්(1876 - 1942) යන දෙදෙන ගැන ඔවුන් විශේෂයෙන් සඳහන් කර තිබේ. ලක්දුසිංහ ගේ ලිපියේ ඉන්දීය චිත‍්‍ර ශිල්පීන් වන ජමිනි රෝයි, අම්රිතා ෂාර්ගිල් ගැන ද කරුණු දක්වමින් සේකර ඔවුනට ඇලුම් කළ ආකාරය පහදයි.
ලක්දුසිංහ ගේ ලිපිය තවත් ආකාරයකින් වැදගත් ය. මන්ද යත්, ශ‍්‍රී ලංකාවේ සමකාලීන චිත‍්‍ර කලාව ඇසුරෙහි සේකර ස්ථාන ගත කරන්නේ කෙලෙස ද යන්නට පැහැදිලි පිළිතුරක් ඉන් මතුවන බැවිනි. මහගම සේකර ශ‍්‍රී ලංකාවේ චිත‍්‍ර කලාව සම්බන්ධයෙන් දරන්නේ භාරතීය සමකාලීන චිත‍්‍ර කලාව විෂයයෙහි සුප‍්‍රකට බෙංගාලි චිත‍්‍ර ශිල්පිනියක වූ අම්රිතා ෂාර්ගිල් දැරූ ස්ථානයට සමාන තැනක් බව හේ කියයි.
ශ‍්‍රී ලංකාවේ මෙන් ම භාරතයේ ද අද්‍යතන චිත‍්‍ර සම්ප‍්‍රදායය සකසා ගැනීම පිළිබඳ ප‍්‍රයත්නයේ දී ප‍්‍රවණතා තුනක් මතු වූ බව ලක්දුසිංහ කියයි. එනම්
  • (2) දෙවැනි ප‍්‍රවණතාව ප‍්‍රංශයේ වර්ධනය වූ ‘නූතන’ චිත‍්‍ර ව්‍යාපාරය අනුව යමින් අධි නූතන සම්ප‍්‍රදායයක් බිහි කිරීමේ වෑයම යි.
  • (3) තුන් වන ප‍්‍රවණතාව මුල් ශෛලීන් දෙකෙහිම සංයෝගයක් කෙරෙන් නූතන දේශීය චිත‍්‍ර සම්ප‍්‍රදායය බිහි කිරීමට ගත් වෑයමකි.
අම්රිතා ෂාර්ගිල් මෙන් ම සේකර ද වැටෙනුයේ මේ තුන්වන ගණයට බව ලක්දුසිංහ කියයි.
මහගම සේකර කෙරෙහි වඩාත් බලපෑමක් කර ඇති ශිල්පියා ජමිනි රෝයි බව අප අදහසයි. ඔහු ගේ ‘කිංග් ඔෆ් ද එලිෆන්ට්’, ‘ඩාන්සින් ගර්ල්’, ‘ද රෙඩ් හෝස්’, ‘කව්’, ‘ද හෙඩ් ඔෆ් ද සන්තාල්’, ‘සන්තාල් මදර් ඇන්ඩ් චයිල්ඩ්’ වැනි චිත‍්‍ර සැලැකිල්ලට ගැනීමේ දී ඒවායින් සේකර ලද්දා වූ අනුප‍්‍රාණය කැපී පෙනේ.
‘තුංමංහංදිය’ නවකතාවේ සිරිසේනට කාර්මික විද්‍යාලයයේ දක්නට ලැබෙන චිත‍්‍ර ගැන කර ඇති සටහන සේකර ගේ්ම ආකල්ප විය යුතු යැයි සිතේ. “චිත‍්‍ර ශිල්පය ගැනත් ලෝකයේ විවිධ රටවල චිත‍්‍ර ශිල්පීන් හා ඔවුන් ගේ චිත‍්‍ර ගැනත් ලියන ලද පොත පත රාශියක් කාර්මික විද්‍යාලයයේ පුස්තකාලයේ තිබේ.
ඉංග‍්‍රීසියෙන් ලියා ඇති බැවින් මේවා කියැවීමට මට පුළුවන්කමක් නැත. නමුත් එකී ශිල්පීන් විසින් අදින ලද චිත‍්‍ර මේ පොත්වල වර්ණයෙන් මුද්‍රණය කර ඇති බැවින් මම බොහෝ විට මේ පොත් පුස්තකාලයෙන් ගෙන පෙරළා බලමි. ජෙමිනි රෝයි. පෝල් ක්ලී. පිකාසෝ. බලි ඇදුරන්ගේ චිත‍්‍රවල මෙන් ගැමි ගතියක් ජෙමිනි රෝයි ගේ චිත‍්‍රවල ඇත. පෝල් ක්ලීගේ චිත‍්‍ර හරියට ළමයින් අදින චිත‍්‍ර වගේ ය.
පිකාසෝ ගේ චිත‍්‍ර මට නොතේරේ. මාතෘකා පාඨ කියවා බලා වුව ද ඒවායේ අර්ථ වටහා ගැනීමට මට නුපුළුවන. එහෙත් මේවා දෙස කොපමණ වේලාවක් වුවත් බලා සිටිය හැක. සිත් අදිනා ගතියක් මෙන් ම පෙර නොවූ විරූ අලුත් ගතියක් ද ඒවායේ ඇත. මට නොතේරුණාට කුමක් හෝ තේරුමක් මේවායේ ද තිබිය යුතු ය. (තුංමංහංදිය පිටුව - 123)
නිසි විචාරක අවධානයක් යොමු නොවීමේ විපාකය නිසා දෝ සේකර නමැති චිත‍්‍ර ශිල්පියා යටපත් ව සේකර නම් වූ කවියා බිහි වූ බව පෙනේ. එහි ප‍්‍රතිවිරුද්ධ දේ සිදු වූයේ ජෝර්ජ් කීට්ට ය. එහි දී ජෝර්ජ් කීට් නමැති කවියා යටපත් වී ජෝර්ජ් කීට් නම් වූ චිත‍්‍ර ශිල්පියා බිහි වූයේ ය.

ආරාධනාව

1969 දී යුනෙස්කෝ සංවිධානය වෙතින් ලැබුණු ආරාධනාවකට අනුව අමෙරිකාවට ගිය සේකරට ඉන් පසු නිව්යෝක්, ලන්ඩන් හා පැරිස් යන නගරවල නූතන චිත‍්‍ර කලාගාරයන් දැක ගැනීමේ අවස්ථාව ලැබිණි.
චීනය, රුසියාව වැනි රටවල පවා ඔහු ගේ චිත‍්‍ර, ප‍්‍රදර්ශනවලට තබා ඇත.
සේකර චිත‍්‍ර ඇදීම සඳහා භාවිතා කෙළේ දේශීය අමුද්‍රව්‍යවලින් සකසා ගත් වර්ණ ය. ඇතැම් අවස්ථාවක ඔහු පින්සලය වෙනුවට බෝඹු කෝටු පවා යොදා ගෙන ඇත.
1972 රජයේ ලලිත කලායතනයේ විදුහල්පති ධූරයට පත් සේකර 1973 දී අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යාපන අංශයේ අධ්‍යාපන නිලධාරි තනතුර ද හෙබැවූයේ ය. 1976 ජනවාරි මස 14 වන දින මේ අද්විතීය කලාකරුවාණෝ අභාව නියාමයට නතු වූහ.
මේ ලිපිය අවසන් කළ යුතු වන්නේ විද්වතකු විසින් ඉදිරිපත් කරන ලද ඉතා වැදගත් අදහසක් කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීමෙනි. මහගම සේකර ගේ ප‍්‍රබුද්ධ’ කාව්‍ය සංග‍්‍රහයට පෙරවදනක් ලියන මහාචාර්ය ජෝතිය ධීරසේකර (දැන් මහාචාර්ය ධම්ම විහාරී නාහිමි) මෙසේ කියා ඇත.
‘මහගමසේකර ප‍්‍රබුද්ධ ඇසුරෙන් හෙළි කරන අදහස්වලට සරිලන, ඒවා උද්දීපනය කිරීමට ප‍්‍රමාණවත් චිත‍්‍ර කලා සම්ප‍්‍රදායයක් සහ මූර්ති කලා සම්ප‍්‍රදායයක් නොපමාව අප අතර බිහි කිරීම අත්‍යවශ්‍ය ය.”
ඒ අදහස ප‍්‍රකාශනයට පත් වූයේ 1977 දී ය. එතෙක් මෙතෙක් ගෙවුණු කාල පරිච්ඡේදයේ දී එකී කාර්ය භාරය ඉටු කිරීමට සමත් චිත‍්‍ර හෝ මූර්ති ශිල්පියකු අපේ රටින් බිහි වී ඇද්ද? එසේ නොවන්නේ නම් එබඳු සම්ප‍්‍රදායයක් ඇති කිරීමේ භාර දූර වගකීම වර්තමාන චිත‍්‍ර හා මූර්ති කලා ශිල්පීන්ට භාරවනු ඇති බව කියනු කැමැත්තෙමි.
සුනිල් මිහිඳුකුල

ප්‍රකාශන

අනුවාද

  • ධවල සේනාංකය - (1956)
ශ්‍රීමත් ආතර් කොනන් ‍ඩොයිල්ගේ "ද වයිට් ‍කම්පනි" නම් කෘතියේ අනුවාදයකි

ළමා සාහිත්‍ය

  • පුංචි අයට කයි කතන්දර - (1958)
  • සරු පොළවක් අපට ඇතේ - (1973)
  • කොටි වලිගය - (1990)

කාව්‍ය

  • ව්‍යංගා (‍කේ. ජයතිලක සමඟ) - (1960)
  • සක්වා ලිහිණී - (1962)
  • හෙට ඉරක් පායයි - (1963)
  • මක්නිසාද යත් - (1964)
  • රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත - (1967)
  • බෝඩිම - (1970)
  • නොමියෙමි - (1973)
  • ප්‍රබුද්ධ - (1977)

නාට්‍ය

  • සද්දන්ත සහ තවත් නාටක - (1961)
  • මූදු පුත්තු (ගුණසේන ගලප්පත්ති සමඟ) - (1964)
  • හංස ගීතය සහ වෙනත් නිර්මාණ - (1985)

නවකතා

  • තුංමංහංදිය - (1967)
  • මනෝමන්දිර - (1971)

කෙටිකතා

  • මහගම සේකරගේ කෙටි කතා සහ චිත්‍ර - (1981)

ගීත රචනා

  • මහගම සේකරගේ ගීත - (1972)
  • මහගම සේකර, නොපළ ගීත - (1984)

චිත්‍රපට තිර රචනා

  • තුංමංහංදිය තිර රචනය - (1993)

ශාස්ත්‍රීය

  • සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හී රිද්ම ලක්ෂණ - (2001)